චෝදනා ගොනු නොකොට වසර 1 1/2ක් රිමාන්ඩ් කර සිටි සැකකරුවකුට ඇප

0
16

වසර 1 1/2ක් තරම් කාලයක් තිස්සේ කිසිදු චෝදනාපත්‍රයක් ගොනු නොකොට දිගින් දිගටම රිමාන්ඩ් නියෝග මත බන්ධනාගාරගත කොට සිටින ගාල්ල _ හබරාදුව අයකු ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය ඊයේ (21දා) නියෝග කළේය.  එම තැනැත්තා විසින් ගොනුකොට තිබූ ඇප අයැදුම් පෙත්සමක් විමසුමට ලක් කළ ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලයක් එම නියෝගය නිකුත් කළේය. මේනකා විජේසුන්දර හා නීල් ඉද්දවෙල යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම කැඳවා තිබිණි.

කාන්තාවක් සමඟ වූ අනියම් සබඳතාවක් මත හටගත් ආරවුලකදී, මතු වූ ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් මෙම තැනැත්තා අත්අඩංගුවට ගත් හබරාදුව පොලිසිය වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව කරුණු වාර්තා කරමින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් නියෝග ලබාගෙන ඇති බව පෙත්සම් විමසුමේදී අනාවරණය විය.

රජය වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය ප්‍රධාන විනිසුරු මේනකා විජේසුන්දරගේ විමසුමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්කාර සැකකරුට එරෙහිව පැමිණිලි එකක් නොව කිහිපයක්ම ලැබී ඇති බවත් ඒවා පිළිබඳව විමර්ශන නිම කොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බවය.

එලෙස අධිචෝදනා ගොනු කරනු ලබන දින වකවානුවක් සඳහන් කළ හැකිද යන්නට ප්‍රතිචාර දක්වමින් පැහැදිලිව දින වකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවද රජයේ නීතිඥවරිය කියා සිටියාය.

පෙත්සම්කරු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින දීර්ඝ කාලසීමාව සලකාගෙන ඔහුව ඇප මත මුදා හැරීමට තීරණය කරන බැව් ප්‍රකාශ කළ විනිශ්චය මණ්ඩලය රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් 30,00,000ක් (ලක්ෂ 30ක) සහතික ඇප මත පෙත්සම්කරු මුදාහැරීමටත් සෑම මසකම අවසන් ඉරිදා දිනයන්හි හබරාදුව පොලිසියට පැමිණ වාර්තා කරන කොන්දේසියට යටත්ව ඔහු මුදාහැරිය යුතු බවටත් නියෝග කළේය. 

කමල් මහේන්ද්‍ර වීරරත්න