චව් චව් ආර්ථිකය

0
70

“නෙළුම් කුලුන උඩට පැමිණි විට තුසිත දිව්‍ය ලෝකයට ආසන්න වූ බවක් හැඟී ගියා. නෙළුමෙන් සංකේතවත් වන්නේ බුදුපියාණන් වහන්සේ. නෙළුම් කුලුනට පැමිණි පසු මානසික ආතතිය දුරුකර ගත හැකියි. දැනුම – විනෝදය ලබා ගැනීමට පුළුවන්. අවට සිරියාව නැරඹීමට පුළුවන්.”

 කොළඹ නෙළුම් කුලුන නැරඹීමට ආ භික්ෂුන් වහන්සේ නමක් නෙළුම් කුලුනේ් ආශ්චර්යයෙන් ඔකඳව එහෙම පැවැසූහ.

“අපිට පුදුම සතුටක් දැනුණේ. මේක ණයක් කියලා කියන්නේ කවුද? උඩට යන්න යන්න පුදුම සතුටක් දැනුණා. අවට සුන්දරත්වය හොඳට පෙනුණා.”

නෙළුම් කුලුන නරඹන්න ආ තරුණියක් එහෙම කීවාය.

සමහරක් මිනිස්සු මහ පුදුම ජාතියක්ය. දේශපාලන වහල් බව මෝඩකමට එකතු වූ විට කරන්නේ කුමක්ද? කියන්නේ කුමක්ද? කියා වැටහෙන්නේ නැත.

අපේ අම්ම ළඟ එනවා

හාල් සේරු දෙක දෙනවා

කියමින් මැතිනිය බලයට ගෙන ආ මිනිස්සු වසර ගණනාවකට පසු මෙහෙම කීය.

සීනි නැතිව තේ බොන්නම්

හාල් නැතිව බත් කන්නම්

මැතිනිිය ඔබ කියනව නම්

පිදුරු වුණත් අපි කන්නම්!

සමහරු ස්වකැමැත්තෙන්ම පිදුරු කන්නට දෙපාරක් හිතන්නේ නැත.

නෙළුම් කුලුන දැක එයින් මන්මත්ව ඊට නැංග විට දිව්‍යලෝකේ ගියා වගේ හැඟීමක් ඇති වන බව භික්ෂුන් වහන්සේ නමක්ම කියන අතර “දරුවාට කිරි පැකට්ටුවක් ගන්නට මුදල් නැති නිසා ආදිවාසී යුවළක් නෙළුම් අල හාරන” පුවතක් පෙරේදා (20දා) ‘මව්බිම’ පුවත්පතේ වාර්තා විය.

එය නම් දෛවෝපගත තත්ත්වයකි.

මීට දෙවසරකට පෙරාතුව මේ රටේ ජනතාව  නෙළුම් පොහොට්ටුව බලයට ගෙන ආවේ රට සෞභාග්‍යයේ දැක්මක් බවට පත්කරන බවට සපථ කරමිනි. එයින් දෙවසරක් ඉක්ම ගිය තැන රටේ ජනතාව පත්ව ඇත්තේ නෙළුම් අල හාරා කුසගින්න පුරවා ගන්නට වෙහෙසෙන තැනටය. එය එයින් නැවතී නැත.

“කුසගින්න දරාගන්න බැරිව කොළඹ ජාතික පාසලක දරුවන් බුද්ධ පූජාව කාලා.”

   පුවතක්-හිරු

“ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඬන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඬා වැටෙමින් සිටියේය.”

  පුවතක්- ලංකාදීප

“කන්න දෙයක් නැතිව අක්කා පන්තියේ: මල්ලී ඩෙස්ක් එකේ ඔළුව තියන් නිදි.”

 පුවතක්- දිනමිණ

මෙවැනි පුවත් ඕනෑ තරම් මේ දිනවල අසන්නටත් දකින්නටත් ලැබේ.

වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයක ඉතිරි ආහාර අනුභව කිරීමට තැත්කළ අසරණ දරුවන් පස්දෙනෙක් බොරලු පොළොවේ දණගස්වා තබා පොලිසියට භාරදී ඇත. මෙය ඉකුත් 4 වැනිදා සිදුවිය. සිද්ධියට මුහුණ දුන් දරුවෝ අවුරුදු 12, 13, 16, 17 යන වයස්වල පසුවූ අය වෙති.

ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණය අතින් ලෝකයෙන්ම 06 වැනි ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පැවැසුවේ මීට සති දෙකකට පෙරය. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමඟ දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට දරුණු බලපෑමක් සිදුව ඇති බව සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි සඳහන් කළ අතර මේ වනවිටත් මෙරට ළමයින් තිදෙනකුගෙන් එක් අයකු යම් ආකාරයක හදිසි ආධාර උපකාර ලැබීමේ අවශ්‍යතාවෙන් පෙළෙන බවත් සංවිධානය පැවැසීය.

බලපා ඇති අර්බුදකාරී තත්ත්වය මත ළමයින් පාසල් යෑම අඩාල වී ඇති බවත් අර්බුදයට පෙර ඔවුන්ට ලැබුණු ආහාර වේල අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කරයි. ආහාර මිලදී ගැනීමේ හැකියාව නැති වීමෙන් එදිනෙදා ආහාරවේල් මඟහරිමින් පසුවන බවත් ළමයින් මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේ දැයි නොදැන කුසගින්නේ නින්දට යන බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

 ජෝර්ජ් ලාර්යෙන්-ඇඩ්ජේ පසුගියදා මෙරට සංචාරයක නිරතවීමෙන් පසු නිකුත් කළ වාර්තාවක් මඟින් අනතුරු අඟවා ඇත්තේ ආර්ථික කම්පනය ශ්‍රී ලංකාව දිගින් දිගටම අවුල් කරද්දී, එහි වැඩිම මිල ගෙවන්නේ දුප්පත්ම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් බවය.

රටේ දරු පරපුර මුහුණදී සිටින්නේ එවන් අභාග්‍යසම්පන්න ඉරණමකටය.

රට තුළ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ සිය දරුවන්ට ආහාර වේලක් ලබාදීමට තරම් නොහැකි තත්ත්වයක් මවුපියන්ට උදාවී තිබීම හේතුවෙන් කුසගින්නේ පාසල් වෙත පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.

වැට් බද්ද 8%ක්ව තිබියදී රුපියල් 30ට තිබුණු පුංචි බිස්කට් පැකට් එකක් දැන් රු. 120කි. ඊට 15%ක් දක්වා වැඩි කළ වැට් බද්දත් එකතු වුණාම බිස්කට් අධි සුඛෝපභෝගී ආහාරයක් බවට පත්වේ. වැට් කියන්නේ වක්‍ර බද්දකි. ඒ බද්දට තවත් බදු එකතු කරන්න ආණ්ඩුව කටයුතු කරයි. සමහරු ඊට කියන්නේ අලුත්  “කළුකෝට් බද්ද” කියාය.

‘ක්ලෝරෙක්ස්’ යනු වැරදීමකින් හෝ ගිලුණොත් අසාමාන්‍ය වේදනාවක් ගෙනෙන්නකි. හයිටියේ මිනිස්සු කුසගින්න හ¾දුන්වන්නේ ක්ලොරෙක්ස් ගිල දැමීමක් ලෙසය. කුසගින්න ඔවුන්ට ඒ තරමට වේදනාකාරීය.

ඒ මහා කුසගින්න නිවාගන්නට ඔවුන් කන්නේ ‘මැටිය’ පොළවේ මැටිවලින් සැකසූ මැටි රොටීය. ඒ රොටී සඳහා මැටි සොයාගන්නේද සැතපුම් ගණන් ක¾දු තරණය කරමින්ය. මැටිවලට ලුණු හා ජලය එක්කර වේළාගත්විට එය එරට ප්‍රධාන ආහාරයකි. ආහාර නිසාම හයිටිය අනේක වාරයක් ගිනි ගත්තේය. ලක්ෂ ගණන් ජනතාව පාරට බැස Go home primeminister කීවේය. අගමැතිවරයා නෑසූ කන්ව සිටියේය. පුපුරාගිය  අරගල හේතුවෙන් 2008 හයිටි අගමැතිවරයා ජීවිතක්ෂයට පත්විය. එදා හයිටිය කඩා වැටුණේ ලංකාව අද කඩා වැටෙනවා වගේමය. අද ලංකාවේ සහල් කිලෝවක මිල රුපියල් දෙසීයට එහාය. ෆයිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කර්න්නේ 2022 වසරේ මේ දක්වා වඩාත් පිරිහීමකට ලක්ව ඇති මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවය. ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් පහත වැටිලාය.

ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින්නේ ලෙබනනයේය. සිම්බාබය, වෙනිසියුලාව සහ තුර්කිය පිළිවෙළින් එහි දෙවැනි, තෙවැනි හා සිවුවැනි ස්ථාන හිමිකර ගෙන සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කියට පිටුපසින් පමණි. ශ්‍රී ලංකාවේ ලක්ෂ 57ක ජනතාවක් මේ වන විට මානුෂීය ආධාර අවශ්‍ය වන තත්ත්වයක පසුවන අතර තවත් ලක්ෂ 63ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටී. ලක්ෂ 67ක ජනතාවක් ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව නොකරයි.

ශ්‍රී ලංකාව නාමික ආහාර උද්ධමනය 91% (YoY) ක් වන අතර ලෙබනනය (332%), සිම්බාබ්වේ (309%), වෙනිසියුලාව (155%) සහ තුර්කිය (95%)ක් වේ. ශ්‍රී ලංකාවේ පොහොර හිඟය නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය 40%ත් 50%ත් අතර ප්‍රමාණයකින් අඩු වෙලාය.  2022 වසරේ අගෝස්තු 19 වැනි දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.5කින් අවප්‍රමාණය වී ඇති බවට මහ බැංකු දන්ත පෙන්නුම් කරයි.

දැන් ලංකාව ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම වගේය.

රෝහල්වල බෙහෙත් නැත. අත්‍යවශ්‍ය සැත්කම් සහ ප්‍රතිකාර අහිමිව ඇති රෝගීන් ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අත්හැර මරණයේ අසුබ පණිවුඩය දකින්නට තරම් අවාසනාවන්ත වී ඇත.

පැනඩෝල් පෙත්තක් හොයාගන්නටවත් පහසු නැත. කුසපොත්ත පිටපොත්තට ඇලෙන තරමේ කුසගින්න ඉහවහා යමින් තිබේ. අනාගතය පිළිබඳව සකලවිධ බලාපොරොත්තු ඇස්පනාපිට මියැදෙමින් තිබේ. තවමත් මේ මොහොත ගැන කිසිවෙක් සුබදායි බලාපොරොත්තු තබාගෙන සිටිනවා නම් එය මියගිය රෝගියකුට පණ එතැයි සිතා බලාපොරොත්තු තබාගැනීමක් වැනිය.

තවදුරටත් යන්නේ මෙහෙම නම් තව සති කිහිපයකින් කුසගින්නේ හාමත්ව පාරක් පාරක් ගානේ වැටී සිටින පුරවැසියන් සම්මුඛ වනු ඇත.

මේ අර්බුදය ආණ්ඩුව තැකීමට ලක් කළ තරම පෙනුනේ තම තමන්ගේ ප්‍රොෆයිල්වලට සිංහයා ගොඩකර ගැනීමෙනි.  “කන්න නැතත් රට බේරා ගන්න” යැයි කී පිරිස් එයින් උද්දාමව සිහින දැකි සුන්දර ලංකාව අසුන්දර හයිටියට සමපාත වෙමින් තිබේ.

රුපියල් දෙදහස් පන්සීයට මාසයක් පවුලකටම ජීවත් විය හැකි බවට පරසක්වළ ගැසූ පාලකයන් රට කරවන හෙයින් උන්ගෙන් එකෙක් මෙහෙම කියන්න බැරි නැත.

“බලන්න හයිටිය. එහේ මිනිස්සු දවසට දෙවේලක් මැටි කකා ජීවත් වෙන්නේ. මැටි කියන්නේ හොඳ පෝෂ්‍යදායී ආහාරයක්. “එය අසන ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක්. “අපි වෙනුවෙන් අපි මැටි කමු” පන්නයේ ඇඩ්වටීස්මන්ට්වලින් අපව ගිනිකණ වට්ටවනු ඇත.

මේ යන හැටියට එවිට අපට “මැටි” කෑ හැක.!

මේ වන විට රටේ සමස්ත ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි තරම් ඉහළ ගොස් ඇත. සාමාන්‍යයෙන් වතුකරයේ ජනතාව වැඩියෙන් ආහාරයට ගන්නේ රොටීය හෝ පාන් වැනි ආහාර වර්ගය. පිටි මිල අධික ලෙස ඉහළ යෑම හේතු කොටගෙන අද ඔවුන් කබලෙන් ළිපට වැටී තේ ගස් අස්සෙන් රූටා ගොස්ය.

ඔවුන් වැඩි පිරිසක් උදේ ආහාරයට ගන්නේ ‘චව් චව්’ තම්බලාය. සෞභාග්‍යය ගොඩනඟන්නට ආ ඒ රටට උරුම වූයේ “චව්චව් ආර්ථිකයකි.”

නෙළුම්  පොහොට්ටුව බලයට ගෙනත් සෞභාග්‍යය පැතූ මිනිස්සු දැන් නෙළුම් කුලුනට නැඟී තව්තිසා යති. එහෙම යන අතරේ පහළ බැලුවා නම් තව්තිසාවේ තරම සොයාගන්න පුළුවන්ය.

මේඝනාද