කර්මාන්තවලට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ වෑයමක්

0
15

කර්මාන්ත උදෙසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක සභා කමිටුවේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

එම කමිටුව කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (20දා) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව කර්මාන්තකරුවන් එක් එක් ක්ෂේත්‍රයන්හිදී මුහුණපාන ගැටලු, විදුලිබල හා බලශක්ති අර්බුදය, අමුද්‍රව්‍ය ආනයන ගැටලු, විදේශ විනිමය ගැටලු, ආනයන – අපනයන ක්‍රියාවලියේදී මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡාවට ලක්කළ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

උපදේශක සභා කමිටු රැස්වීම මාසිකව  පවත්වමින් කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා කඩිනම් පියවර ගැනීමට කමිටු සාමාජිකයන් සියලුදෙනා එකඟතාවට පැමිණි බවද කර්මාන්ත  අමාත්‍යාංශය සඳහන් කරයි.

නිෂ්පාදන කර්මාන්ත උප අංශ 21ක් සඳහා කර්මාන්තකරුවන්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ විද්වතුන්ගෙන්  මෙම  කමිටුව සමන්විතය.

කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු නිලධාරීහු සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු කමිටුව රැස්වූ   අවස්ථාවට එක්ව සිටි බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අමිත් මධුරංග ගමගේ