කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙක් සියදිවි නසාගෙන

0
9

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙක් 20 වැනිදා රාත්‍රි ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

සියදිවි හානිකර ගෙන ඇත්තේ කොළඹ, පාදුක්ක, ජයන්ති මාවත කේ. නිපුන් තාරක යන 27 වියැති විවාහකයකු බව පරීක්‍ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු අගෝස්තු 28 වැනිදා වසරක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය වීමට පැමිණ ඇත. ඔහු බිරියට ලියූ ලිපියක්ද පොලිසිය සොයාගෙන ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ භාවිතයට නොගන්නා නේවාසිකාගාරයක බාල්කයක එල්ලී මෙට්ට කවරයක කොටසකින් ගෙල වැලලා ගැනීමට උත්සාහ දරා ඇත. ඔහු එහිදී බිම වැටී සිටින අයුරු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරියකු දැක ඇති බව පරීක්‍ෂණ කළ පොලිසිය සඳහන් කරයි.

එම කඳවුරේ ගිලන් රථය මඟින් පුනරුත්ථාපනලාභියා ලංකාපුර බී.ඕ.සී. 316 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. ඔහු ඒ වන විටත් මියගොස් සිටි ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බව පරීක්‍ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පැවැසීය. සියදිවි හානිකරගත් රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු විසිඑක් වැනිදා කිරීමට නියමිත බව පරීක්‍ෂණ කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කරයි.

මනම්පිටිය – නිමල් ජයරත්න