ඔෟෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ

0
7

වර්තමානයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ කතා බහට ලක්වෙලා තිබෙන්නේ රෝහල්වල තිබෙන ඔෟෂධ හිඟයයි. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපි කොයි මොහොතෙත් ඇත්ත පැවසුවත් අපි කියන ඇත්ත අපිට තිත්ත නැති වුවත් එය තිත්ත වෙලා තියෙන්නේ සමහර බලධාරීන්ට හා දේශපාලනඥයන්ටයි. ඒ අයට ඒක තිත්ත වුණා කියලා අපිට ප්‍රශ්නයක් නෑ යැයි රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හා  බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (21දා) පවතින ඔෟෂධ හිඟය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

බදුල්ල මහ රෝහලේ අංශ හැට ගණනක් තියෙනවා. ඒ හැම අංශයක් තුළම බෙහෙත් හිඟයක් තිබෙනවා. මේ බෙහෙත් හිඟය බලා ගන්නට අවශ්‍ය  නම් හොඳම දෙය තමයි වාට්ටුවල තිබෙනවා හිඟ ඔෟෂධ ලැයිස්තුව. ඒක මේ දවස්වල ඉරලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එය තමයි මහ පොළොවේ තිත්ත ඇත්ත. ඉතිං මේ ඇත්ත හංගලා හරි යටපත් කරලා හරි වෙනත්  ආකාරයකින් මෙම තත්ත්වය යටපත් කිරීමට උත්සාහ කිරීම නිසාත් නිර්මාණය වන්නේ මෙය තවත් උග්‍ර වීමයි.

මෙම රෝහල්වල තිබෙන ඔෟෂධ හිඟයට සමගාමීව පෞද්ගලික අංශයේ ඔෟෂධ මිල ඉහළ යෑම ශීඝ්‍රයෙන් සිදුවන බව අපි දකිනවා.

මින් රෝගීන් අන්ත දෙකකින් අසරණ වෙනවා. 

පර්යන්ත රෝහල් තුළ ඔෟෂධ හිඟයක් තිබෙන නිසා ඒ රෝහල්වලින් බදුල්ල මහ රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. එලෙස ඔවුන් මෙම රෝහලට පැමිණියාම මෙතනත් බෙහෙත් හිඟ වුණම සිදුවන්නේ ඔවුන්ට පෞද්ගලික අංශය වෙත යෑමටයි. එහෙම ගියාම අධික මිලකට බෙහෙත් ගැනීමට තමයි සිදුවන්නේ 

ඒ නිසා විශේෂයෙන්ම ගත්තොත් අපි දකිනවා  රුධිර පීඩනය, දියවැඩියාව, ශ්වසන හා හෘද රෝගීන් දිනකට වේල් තුනක් බෙහෙත් ගන්නවා නම් ඒක එක් වේලකට සීමා කරලා තියෙන බව. ඒ විදිහට රෝගියා විසින්ම තමන් බෙහෙත් ගත යුතු ඔෟෂධ මාත්‍රාව තීරණය  කිරීම නිසා මම ඉහත සඳහන් කළ රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔවුන් රෝහල් ගත වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 

රෝහලක් හෝ සෞඛ්‍ය ආයතනයක් ගත්තාම එතැනට නොනවත්වා ඔෟෂධ පැමිණිය යුතුයි. ඒත් මේ වනවිට එලෙස ඔෟෂධ වර්ග

පිළිවෙළකට පැමිණීමක් අපි දකින්නේ නෑ.

බෙහෙත් හිඟයි කීවාම ඒ වර්ගය රැගෙන එනවා. දවස් කිහිපයක් ගියාම තව වර්ගයක් හිඟ වෙනවා. එතකොට ඒක ගේනවා. එහෙම වුණාම රෝගීන්ට බෙහෙත් නැති අතරමැදි කාලයක් තිබෙනවා. එයත් භයානක තත්ත්වයක්.

විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීමේදී රෝගියාට නියමිත මාත්‍රාව නිසි කාලයට ලැබිය යුතුයි. එලෙස නොකර මේ බෝ නොවන රෝග පාලනය කරන්න බෑ.

බෝ නොවන රෝගවලින් තමයි අපේ රටේ රෝගී මරණවලින් සියයට 78 ක් පමණ සිදුවන්නේ.

ඒ නිසා මෙම තත්ත්වය මත බෝ නොවන රෝග පාලනය කිරීමේ හැකියාව අප අතින් ගිලිහී යමින් තියෙනවා. පිළිකා රෝගීන්ගේ ඔෟෂධ ද මේ වන විට හිඟයි. ඒ හරහා එම රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා එම ජීවිතවලට බරපතළ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.

මේ සියල්ල හරහා අපි දකින්නේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයේ එක පැත්තක් එයට පිළිතුරු සෙවීමට අදාළ බලධාරීන් නිසි ආකාරයට ක්‍රියාත්මක වෙලා නිසි කලට එම තීන්දු නොගත්තොත් අනාගතයේදී නැත්නම් හෙට දිනයේදී රෝහල්වලට එන රෝගීන් සහ නිවෙස් තුළ සිටින රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම අපට වැළක්වීමට නොහැකි වෙනවා.

ඒ නිසා අපි ඉල්ලීම් කරලා තියෙනවා, ආයාචනය කරලා තියෙනවා, කරුණාකර මේකට විසඳුමක් සොයන්න කියලා. අපි කරන හැම දෙයකින්ම කරන්නේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම. ඒත් මේ අකාරයට රෝගී ජීවිත අනතුරට හෙළීම මම හිතන්නේ රටේ මූලික මිනිස් අයිතිවාසිකම්

උල්ලංඝනය වීමක්  කියලා.

බදුල්ල මහ රෝහලේ සැත්කම්වල තත්ත්වය ගත්තොත් අද තියෙන්නේ මොන ක්‍රමයකින් හරි ගැට ගහගෙන යෑමේ න්‍යාය. ඒ කියන්නේ තියෙන දේකින් සැත්කම කරලා රෝගියා සුවපත් කිරීම, ගොඩ දාන එක තමයි මේ අවස්ථාවේ සිදුවන්නේ. එත් අවශ්‍යම උපකරණ නොමැති වුවත් තියෙන උපකරණවලින් හරි සැත්කම් කිරීම නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා යම් ආකාරයකින් රෝගී ජීවිත ආරක්ෂක කර ගැනීමට. අපි දන්නේ නෑ ඉදිරියේදී මොන තත්ත්වයක් ඇති වෙයිද කියලා. ආදේශක

කියන දේ ඉවර වුණාම අපට කර ගන්නට දෙයක් නොමැති වෙනවා. මෙම මාධ්‍ය සාකච්ජාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් උප සභාපති වෛද්‍ය ශාන්ත ඒකනායක සහ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය චින්තක සමරජීව යන මහත්වරුන්ද සහභාගි වූහ.

බදුල්ල-නිශාන්ත අබේගුණවර්ධන