උපතින් රෝගීව ඇවිදින්න – ලියන්න බැරිවත් සරසවි වරම් දිනූ ලෂිත

0
31

පසුගියදා නිකුත් කළ අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵලවලට අනුව විවිධ දක්ෂතා පෙන්වන ලද දරුවන් පිළිබඳ විස්තර නන් දෙසින් දකින්නට අසන්නට ලැබිණි. මේ එවැනි දස්කම් පෙන්වන ලද එහෙත් සංවේදී පුවතකි. වාර්තා වන්නේ අලව්ව රතනාලංකාර මහා විද්‍යාලයෙනි.

පී.ඒ. ලෂිත විකුම් චන්ද්‍රපාල සිසුවා උපතින්ම මස්තිෂ්ක ආගාතය රෝගයට ගොදුරු වූ දරුවෙකි. මොහු මෙවර පැවැති අ.පො.ස. (උ.පෙ.) විභාගයෙන් ඒ සාමාර්ථයක් හා බී සාමාර්ථ දෙකක් ලබා සරසවි වරම් දිනාගෙන ඇත. ඉහත රෝගී තත්ත්වය නිසාම ලෂිතගේ අතපය ක්‍රියාකාරිත්වය හීන වී තිබේ.

මොළයේ ක්‍රියාකාරිවය සාමාන්‍ය දරුවකුගේ හා සමානය. එහෙත් කිසිවකුගේ සහයෝගයක් නොමැතිව කිසිවක් කරගත නොහැකිය. සියලු කටයුතු කරන්නේ මව විසිනි. එක වසරේ සිටම 13 වසර දක්වාම ලෂිත පාසලට රැගෙන ගියේත් යළි නිවෙසට රැගෙන ආවේත් සිය මව විසින් වඩාගෙනය.

2018 වසරේ පැවැති අ.පො.ස. (සා.පෙ.) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ලෂිත, එහිදී ඒ සාමාර්ථ දෙකක්, බී සාමාර්ථයක්  සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථ හතරක් ලබාගෙන ඇත.

මොහුගේ මේ දක්ෂතාව පිළිබඳව 2019 අප්‍රේල් 05 වැනිදා ‘මව්බිම’ පුවත්පතේ “සියලු ගුරු දෙවිවරුන්ගේ බලාපොරොත්තු මම ඉටු කරනවා.” යන සිරස්තලය යටතේ වාර්තාවක්ද පළ විය. ලෂිත 1 වසරේ සිට 5 වසර දක්වා අලව්ව, වාරියගොඩ සාරිපුත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රතනාලංකාර විදුහලට ඇතුළත් වූයේ 6 වසරේ සිට විශේෂ අධ්‍යාපන ඒකකයටයි.

සාමාන්‍ය පන්තියක සිට අධ්‍යාපනය ලැබීමට ආශාව තිබුණද එවක විදුහල්පතිවරයා 7 වසරේ සිට සාමාන්‍ය පන්තියට යොමු කරන බව පවසා ඇත. එහෙත් ටික දිනකින් පසුව වත්මන් විදුහල්පතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව ඔහු සාමාන්‍ය පන්තියට යොමු කොට ඇත.

සාමාන්‍ය පන්තියේ ඉගෙනුම ලබන අනෙකුත් දරුවන් මෙන් ලෂිතට ලියන්නට නොහැකිය. ඔහුට හැකියාව ඇත්තේ කියන දේ අසා සිටීමට පමණි. ලෂිත ධාරණ ශක්තිය අතින් ඉහළින් සිටින දරුවෙකි. එහෙත් සිය මව පන්තියේ එළියේ සිට ගුරුවරුන් කියා දෙන

විෂයන් සටහන් කර ගෙන යළි නිවෙසට ගොස් දිනපතා මෙන්ම විභාගයක් ආසන්නයේදී දරුවාට මතක් කර දෙයි. ඒ අනුව විභාගයේදී ලෂිත දෙන වාචික පිළිතුරු පටිගත කිරීම හා සටහන් කිරීම වෙනම පරීක්ෂණ මණ්ඩලයක් විසින් කරනු ලබයි.

තම දක්ෂතාව පිළිබඳව අදහස් දැක්වූ ලෂිත විකුම් චන්ද්‍රපාල සිසුවා

ඇත්තෙන්ම මට අද ගොඩාක් සතුටුයි. මගේ මේ ජයග්‍රහණය පිටුපස සිටියේ මගේ අම්මා සහ තාත්තා. ඒ දෙන්නාගේ සහයෝගය නොතිබෙන්නට මෙවන් ජයග්‍රහණයක් ලබාගන්න හැකිවන්නේ නෑ. ඒ දෙන්නට මම පින් දෙනවා. ඒ වගේම රතනාලංකාර විදුහලේ විදුහල්පතිතුමා අශෝක සංජීව ධර්මසේන මහතා කළ සේවය අමතක කරන්නම බෑ. රතනාලංකාර මහ විදුහලට ආවේ හය වසරට. එදා හිටපු විදුහල්පතිතුමා මාව දැම්මේ විශේෂ අධ්‍යාපන ඒකකයට, හැබැයි මගේ වාසනාවකට වගේ ටික දිනකින් එතුමා ගිහින් වර්තමාන විදුහල්පතිතුමා විදුහලට පැමිණියා.

එතුමා පැමිණි විගසම මගේ හැකියාව හඳුනා ගත්තා. ඒ අනුව 6 වසරේ සිටම සාමාන්‍ය පන්තියට යොමු කළා. ඒ නිසාම නියමිත වෙලාවටම මට සා.පෙ.,  උ.පෙ. විභාග සඳහා පෙනී සිටීමේ හැකියාව ලැබුණා. ඒ වගේම සා.පෙ. විභාගයට  ඉගෙනගන්න විට ගුරුවරු මට කිව්වා ගණිතය දුර්වලයි කියලා. ඒක ගුරුවරුන් විසින් විදුහල්පතිතමාටත් දැනුම් දීලා පසුව විදුහල්පතිතුමා රාත්‍රි කාලයේ පන්ති තියලා නොමිලේ ඉගැන්නුවා.

ඉන් සා.පෙ. හා උ.පෙ. පන්තිවල උගන්වන ලද ගුරුවරුන්ට ගොඩක් පින්. උසස් පෙළ විභාගයට නිසියාකාරව පාසල පැවැත්වූයේ නෑ. කොරෝනා නිසා. ඒත් ගුරුවරුන් විසින් මාර්ගගත ක්‍රමයට ඉගැන්නුවා. සමහර අවස්ථාවලදී මගේ නිවෙසට ඇවිත් ඉගැන්නුවා. දේශප්‍රිය සර් ඇතුළු ගුරුවරුන් තිදෙනෙක් නිවෙසට ඇවිත් පෞද්ගලිකවත් ඉගැන්නුවා. ඒ සියලු ගුරුවරුන්ට මාගේ ස්තූතිය පුද කර සිටිනවා. මගේ අනාගත බලාපොරොත්තුව අන්තර්ජාතික වශයෙන් දේශපාලනය හදාරන්න. ඒ සඳහා උදවු කරනවා නම් ගොඩක් හොඳයි.

සිය මවගේ යුතුකම් කොටස මැනවින් ඉටු කළ ලෂිතගේ මව වන පී.ඒ. බුද්දිපාලි මහත්මිය සිය පුතාගේ දක්ෂතාව පිළිබඳව හැඟීම්බරව මෙසේ කීවාය.

මවක් හැටියට මම අද ගොඩක් සතුටු වෙනවා. මගේ මහත්තයා සේවය කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ. පුතාට කිසිම දෙයක් තනියම කරගන්න බෑ. හැම දෙයක්ම මම කරල දෙන්න ඕනේ. මේ වනතුරුම පාසලට රැගෙන ගියේ වඩාගෙන. දැන් වඩාගෙන යන්නත් බෑ. දරුවා ලොකුයිනේ. මම පුතාගේ පන්තිය ළඟ සිටිනවා. පුතා වෙනුවෙන් ගුරුවරුන් ලබාදෙන සියලු සටහන් ලියාගන්නෙ මම. හැම පන්තියකම හැම දරුවෙක්ම මගේ පුතාට ආදරෙයි. සරසවියට ගියත් පුතා ළඟින් මම ඉන්න අවශ්‍යයි. ඉතින් මේවා ඉදිරියේදී මට තනියම කරගන්න බැහැ. ආර්ථික වශයෙනුත් අපි ඉන්නේ බොහොම අමාරුවෙන්. පුතා මේ තත්ත්වයට ගෙන එන්නට උදවු කළ රතනාලංකාර විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු දෙවිවරුන්ට මගේ ස්තූතිය පුද කර සිටිනවා.

අ.පො.ස. (උ.පෙ.) සන්නිවේදන විෂය එස්.පී. ශිරෝමි බණ්ඩාර මහත්මියද, දේශපාලන විද්‍යාව තරංගනී ගුණරත්න මහත්මිය ද සිංහල විෂය පී.පී.එන්. ගුණරත්න මහත්මිය විසින් උගන්වන ලදී. ඒ සියලු ගුරුවරුන් වෙනුවෙන් අදහස් දැක්වූ එස්.පී. ශිරෝමි බණ්ඩාර මහත්මිය.

ලෂිත කියන්නේ අමුතු දරුවෙක්. අනෙකුත් දරුවන්ට වඩා ධාරණ ශක්තිය ඉතා ඉහළයි. මේ දරුවාට ඇවිදින්න බැහැ. ලියන්න බෑ. ඒත් සාමාන්‍ය දරුවන් මෙන් හිතන්න පුළුවන්. අ.පො.ස. (සා.පෙ.) කාලය වන විට මාස ගණනාවක් පාසල වසා තියන්න සිදු වුණා කොරෝනා වසංගතය නිසා. හැබැයි අපි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර කළේ නැහැ. මාර්ගගත ක්‍රමයට ඉගැන්නුවා. සමහර දිනවල නිවෙසට ගිහින් ඉගැන්නුවා. කොහොම හෝ දරුවා ජය ගත්තා.  ලෂිතගේ අම්මා, තම එකම දරුවා මේ තත්ත්වයට ගෙන එන්න පුදුම කැපකිරීමක් කළේ. ඒ දිරිය මවට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුයි. ලෂිත වෙනුවෙන් ඉදිරියටත් අපිට කළ හැකි උපරිම සහයෝගය දෙනවා.

රතනාලංකාර මහා විදුහලේ විදුහල්පති අශෝක සංජීව ධර්මසේන මහතා

මම පාසලට පැමිණෙන විට මේ දරුවා විශේෂ අධ්‍යාපන ඒකකයේ. මම දරුවාගේ හැකියාව හොඳින් හඳුනා ගත්තා. ඒ අනුව 6 වසරේ සිටම සාමාන්‍ය පන්තියට යොමු කළා. ලෂිත දිනෙන් දින සාර්ථක ප්‍රතිඵල පෙන්නුවා. සා.පෙ. පන්තියේදී ගණිතය විෂය දැනුම් මට්ටම අවම බව අදාළ ගුරුවරුන් මා වෙත දන්වා සිටියා. උ.පෙ. දරුවන්ගේ ගණිත මට්ටම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව අපි රාත්‍රි කාලයේ පන්ති පැවැත්වුවා.

ඒ අනුව මේ දරුවාද අදාළ පන්තිය වෙත යොමු කළා. කියන්න සතුටුයි දරුවා ඉහළින් විභාගය සමත් වුණා. ඒ වගේම අ.පො.ස. (උ.පෙ.) විභාගයට කලා විෂය ධාරාව යටතේ පෙනී සිටියා. ඒ සාමාර්ථයක් හා බී සාමාර්ථ දෙකක් සමඟ විභාගය සමත්ව සරසවි වරම් දිනාගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවත් ලෂිත සමඟ සිය මවද සිටිය යුතුයි. ලෂිත මෙතෙක් ආ ගමන් මඟ ඉදිරියටත් ගෙන යෑමට නම් අන් අයගේ සහයෝගය අවශ්‍යයි. ඒ සඳහා උදවු කරනවා නම් ලෂිතගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකිවනු ඇත.

නාරම්මල – රෝහිත ශ්‍රී  හේමන්ත