ඇෆ්ලටොක්සින් කතාව ගැන ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි

0
16

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් ගැබිනි හා කිරිදෙන මවුවරුන්ටත් අඩු බර දරුවන්ටත් නිකුත් කර තිබෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරකය අඩංගු බවට සිදුකර තිබෙන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් වහා සොයා බැලීමක් කර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන්

නිල ප්‍රකාශයක් කඩිනමින් නිකුත් කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි. ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇතැයි හෙළි කිරීමත් සමඟ මේ වන විට ගැබිනි හා කිරිදෙන මවුවරුන් මෙන්ම අඩුබර සහිත දරුවන්ගේ මවුපියන් දැඩි බියට හා විශාල කැලඹීමකට පත්ව ඇති බවද ඇය කීවාය.

මහනුවරදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කොඩිතුවක්කු මහත්මිය එසේ ප්‍රකාශ කළාය. නිකුත් කළ ත්‍රිපෝෂ යළි එකතු කරන ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට හෝ ගබඩාවල තිබෙන ත්‍රිපෝෂ නැවත භාරදෙන ලෙස එම නිලධාරීන්ට මේ වන තෙක් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවද සභාපතිනිය පැවසුවාය.

දරුවන්ගේ මන්දපෝෂණය වැළැක්වීම සඳහා ගර්භණී කාලයේදී මෙන්ම කිරිදෙන අවස්ථාවේදී මවටත් මාස 06 සිට අවුරුදු 05 දක්වා අඩු බර සහිත දරුවන්ටත් ත්‍රිපෝෂ ලබාදුන් බවත්, වසර 1 1/2 ක පමණ කාලයක් ත්‍රිපෝෂ ලබාදීම ඇනහිට තිබියදී යළි එය ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ බවත් කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.

මහනුවර – කේ.එල්. සුරවීර