අරගලයේ ක්‍රියාකාරිකයෙක්  පැපිලියානේ කොල්ලයක

0
123

ගාලුමුව‍ෙදාර අරගලයට සම්බන්ධ වූ අරගලකරුවකු මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඊයේ (21දා) පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟිනි.

පැපිලියාන ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසලක හිමිකරුවකු තම වෙළෙඳසල වසා දමා ඊයේ (21දා) අලුයම නිවෙස බලා පිටත්ව යෑමට මාර්ගය අසල සිටියදී යතුරුපැදියක පැමිණි තිදෙනකු එම ව්‍යාපාරිකයාගේ බෑගය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය. එම සැකකරුවන් තිදෙනා එම ව්‍යාපාරිකයාගේ ගෙල මිරිකා ඔහුගේ බෑගය පැහැරගෙන ගොස් තිබේ.

එම සැකකරුවන් තිදෙනා අතරින් ප්‍රධාන සැකකරු ගාලුමුව‍ෙදාර අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටි අයෙක් බවත් ඔහු හිටපු හමුදා සෙබළකු බවත් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය. මෙම ප්‍රධාන සැකකරු ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම, පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාරගේ තලංගම පිහිටි නිවෙසට පහරදීම, මොරටුව නගරාධිපතිගේ නිවෙසට ගිනි තැබීම, වැනි සිදුවීම් කිහිපයක සැකකරුවකු බවද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කර ඇත.

මෙම සැකකරුවන් තිදෙනා බොරලැස්ගමුව පොලිසියට භාරදී ඇති අතර ඉන් අනතුරුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම සැකකරුවන් අද (22දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය