අන්ධකාරයේ විරෝධය

0
40

ජල බිල, විදුලි බිල, ටෙලිෆෝන් බිල, ඉන්ටනෙට් බිල ආදී වශයෙන් මේ දවස්වල මහජනතාවට ලැබෙන බිල් හැම එකක්ම ලෙඩ ගොඩවල්ය. තවමත් කුප්පි ලාම්පුවේ පිහිටෙන් රෑ අඳුර දුරු කරගන්නා තරමේ දිලිඳු මට්ටමේ සිටින අතළොස්සක් දෙනා හැරුණු විට රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් අඩු තරමින් ඉහත සඳහන් එක බිලක් හෝ ගෙවති. බොහෝ විට එය විදුලි බිලය.

එක දිගට බිල ගෙවා ගන්නට බැරිකමට කැපිල්ලට අනතුරු සංඥාව දෙන රතු බිල ලැබෙනතුරු බලා සිටින ඇතැමෙක් අඳුරේ එක දිනක් හෝ ඉන්නට බැරිකමට ණය තුරුස් වී හෝ නැතිනම් වෙනත් අවශ්‍යතා පැත්තකට දමා විදුලි බිල ගෙවා දමති. රාජ්‍ය ආයතනවල හා මහා මාර්ගයෙහි මෙන්ම තවත් පොදු මහජන සේවා ස්ථානවල විදුලි බිලද රජයේ වියදම් ගිණුමට බැර වෙන බව කියයි. එයිනුත් බොහෝ ගෙවීම් දිගින් දිගටම ප්‍රමාද වෙයි. මේ සියලු අලකලංචි මැද දැන් දැන් මේ රටේ මහජනතාවට විදුලි බිල ජීවන අරගලයේ පීඩාවේ සංඥාව බවට පත්වී ඇති සෙයකි.

විදුලි බිල සම්බන්ධව දැන් මුලින්ම මහ පාරට බසින්නට ඉදිරිපත්ව සිටින්නේ මහ සඟරුවනය. එසේ වීමටද හේතුකාරක මාලාවකි. සාමාන්‍ය ජනතාවට විදුලි බිල පීඩාකාරී ඇඟවුම් වැලක එක් අංශුවක් පමණකි. ඔවුනට බඩු මිල, ජීවන මිල, ආහාර අගහිඟකම් යනාදී වූ දහසකුත් එකක් ගැටලු ගැන සිතන්නට සිදුවී තිබේ.

සිවුපසයෙන් උපස්ථාන ලබන මහ සඟරුවනට විදුලි බිල යනු විශේෂ සම්බාධකයකි. දායක දායිකාවන්ගේ පැත්තටද එය ඍජුවම බැර කිරීම දුෂ්කර තත්ත්වයකි. රාජ්‍ය ආයතනවල, මැති – ඇමැති මැඳුරුවල, ප්‍රභූ නිවෙස්වල අපතේ යන විදුලිය ගැන මේ රටේ ජනතාවට බොහෝ කතන්දර තිබේ. මුළු රෑ තුන්තිස් පැයෙහිම දැල්වී තිබෙන විදුලි පහන් ගැන ජනතාව කෝපයෙන් කතා කරති.

රජමැඳුරු – සිටු මැඳුරු ලෙස සමාන කොට කතා කිරීම නොහොඹිනා වැඩක් වුණත් මේ රටේ බොහෝ විහාරස්ථාන රාජ මන්දිර ආකෘතියට ගොඩනඟා තිබේ. කෝටි ගණන් වටිනා වාහන හිමි, හිමිවරු දැන් දැන් විදුලි බිල ගැන කතා කරන්නට පටන්ගෙන සිටින බව කියන්නේ මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමිපාණෝය.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් ‘ගෙවන්න බැහැ – ගෙවන්නේ නැහැ’ යන විරෝධතා පාඨය මුල්කරගෙන උද්ඝෝෂණයක නිරතව සිටිනු පෙනිණි. තවත් පිරිසක් විදුලි බිලට එරෙහිව මහජන පෙත්සමක් අස්සන් කරති. එළැඹෙන වප් පුන් පොහෝ දින දිවයිනේ සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා රාත්‍රි කාලයේ ‘අන්ධකාරයේ විරෝධය’ නමින් සාමකාමීව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙළක් ගැනද කතා බහකි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියන්නේ මෙහෙම කතාවකි. දිවයිනේ විහාරස්ථාන 148ක විදුලි බිල මණ්ඩලය මඟින් ගෙවීම නතර කරන ලෙස උපයෝගිතා කොමිසම මඟින් දැනුම්දී තිබෙනවා. දිවයිනේ ආගමික ස්ථාන 48,682 කින්ම මෙතෙක් අයකර තිබුණේ සහන ගාස්තුවක්. බිල වැඩි කිරීම නිසා ගැටලුවට මුහුණදෙමින් සිටින්නේ විහාරස්ථාන 12,586ක් පමණයි. මාසිකව ඒකක 30ක් පමණක් පාවිච්චි කරන විහාරස්ථාන 15,195ක්. මේ විහාරස්ථානවලින් අය කරන්නේ සාමාන්‍යයෙන් රුපියල් 330ක බිලක්.

අමාත්‍යවරයා සංඛ්‍යාලේඛන සහිතව ඉදිරිපත් කොට තිබෙන වාර්තාව අසත්‍යයක් වන්නට බැරිය. එසේ වුවද යම් ප්‍රශ්නයක් පැනනැඟී ඇති බව ඔහුද ප්‍රතික්‍ෂේප නොකරයි. කළ යුත්තේ කුමක්ද? මේ රටේ සියලුම විහාරස්ථානවලට විදුලිය සැපයීම නොමිලේ කළ යුතුද? එසේ කළහොත් සිදුවන්නේ කුමක්ද? විහාරස්ථානවලට පමණක් නොව සෙසු ආගමික මධ්‍යස්ථානවලටද එනම් පල්ලි, කෝවිල් ඇතුළු තවත් තැන් රැසක් සඳහා එවැනි සහන දිය යුතු නොවේද?

විදුලි බල මණ්ඩලය මහා ණය අගාධයක වැටී කෙඳිරිගාමින් සිටින මොහොතක මෙවැනි දාන පාරමිතාවකට සම්බන්ධ වීමට කැමැති වේද? “ගෙවන්න බැහැ – ගෙවන්නෙ නැහැ” යන කතන්දරයේ සර්ව සාධාරණ භාවය ගැන තව ටිකක් දුරට සිතා බලන්නට සිදුවී තිබෙනවා නොවේද?

ඉතිහාසයේ ගනු ලැබූ අදූරදර්ශී තීරණවලට දැන් මුහුණ දෙමින් සිටින්නේ විදුලි ඇමැති කංචනය. මේ රටේ ඉන්ධන ප්‍රශ්නයට ඔහු යම් විසඳුමක් ගෙනාවේය. ඒ ශ්‍රී අ කෝඩ් එකය. එහි යම් යම් ගැටලු ඇති බව ඇත්තය. නමුත් ඔහු යම් සැලසුමක් රටට ඉදිරිපත් කළේය. විදුලි බිල පිළිබඳ ගැටලුවත් දැන් තෙල් ගැටලුවට දෙවැනි නැත. විරෝධයෙහි පෙරමුණ ගෙන සිටින්නේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාය. පෙර රජ දවස පටන් රාජ්‍ය තන්ත්‍රය හා සම්බන්ධවී සිටි පූජ්‍ය පක්‍ෂයයි. ඉංග්‍රීසීන්ට මේ රට පවරා දුන් මොහොතේ ඊට මුලින් කැමැති වී පසුව සුදු පාලකයන්ට එරෙහිව ජනතාව පෙළගස්වන්නට පාරට බැස්සේ මහ සඟරුවනය.

සටන පරාජය වීමත් සමඟ ශාසනය විනාශ වී යන තැනට කටයුතු සලස්වන්නට අධිරාජ්‍ය පාලකයෝ සියුම් ලෙස උපක්‍රම යෙදූහ. එවැනි සියුම් උපක්‍රම මෙකලද කරළියට නොඑතැයි අපට කියන්නට පුළුවන්කමක් නැත. විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ සෙසු ආයතන කිහිපය හා සම්බන්ධව සක්‍රියව තිබෙන මාෆියාවක් ගැන වසර ගණනාවක සිටම ලොකු කතාබහක් තිබිණි. ඒ කතාබහ දැන් ටිකක් යටපත් වී ඇතත් මාෆියාව විවිධ ස්වරූපයෙන් හිස ඔසොවන්නට ඉඩ තිබේ. විෂය භාර අමාත්‍යවරයා මේ සියල්ල ගැන අවධානයෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යය.

විදුලිබල මණ්ඩලය මේ මොහොත වනවිට කෑලි හතරකට කැඩී තිබේ. කෑලි දෙකක්ම පෞද්ගලික අංශයට වැඩි බරය. විදුලිජනන පෞද්ගලික සමාගමේ පමණක් පෞද්ගලික අංශයේ කොටස් 49%කි. නීත්‍යනුකූලව විගණන කාර්යයෙන් අෑත්වී සිටීමටද වරප්‍රසාද ලබා ඇත. එහි සේවය කරන්නේද වැඩිපුරම විදුලිබල මණ්ඩලයේ සේවයෙන් විශ්‍රාමිකව සිටින ඉන්ජිනේරුවෝ වෙති. ඔවුන්ට සුදු කොඩි පෙනෙනතුරු රැකියාව කිරීමට බාධා නැත. විදුලිබල මණ්ඩලයේද නාස්තිය, දූෂණ, වංචා නිමක් නැත. වංචා,

දූෂණ, චෝදනාවලින් බේරී ආරක්‍ෂාව සලසා ගැනීමද අමාරු නැත. අපේ හාමුදුරුවරු විදුලි බිල ගැන චෝදනා නඟන්නේ මෙසේ හොරකම් වංචා, දූෂණ, පිරී ගිය රාජ්‍ය ආයතන පද්ධතියක කුණු කසළගොඩ අත පත ගාමින්ය.

ඉතින් හාමුදුරුවනේ, සමාවන්න, විදුලි බිල සමස්ත ජනතාවටම ගැටලුවකි. බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක යම් සහනයක් සලසන්නට ඉදිරිපත්ව සිටින බව කියයි. මන්ත්‍රි සාගර ඒ අතර දේවදත්ත න්‍යායට අදාළ කතන්දරයක් කියයි. ඒ පෝදා පහන් පත්තු කර පන්සල ආලෝක කරගන්නා ලෙසයි.

කොහොමටත් හැමදාම පන්සල්වල පහන් නම් දැල්වෙයි. ඒත් පෝදාට පහනේ එළිය නොසෑහෙයි. සඳ එළියද නොසෑහෙයි. විදුලි එළිය අවශ්‍යමය. කළ යුත්තේ සමස්ත ජනතාවටම බලපාන පරිදි සහනදායක වැඩපිළිවෙළකට මඟ හෙළි කර ගැනීමය. රාජ්‍ය ආයතනවල වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් සිදුවන පාඩුව ජනතාව මත පැවැරීම කිසිසේත්ම නොසිදුවිය යුතුය. ගැටලුව විහාරස්ථාන හා සම්බන්ධව බලපවත්නා එකක් නොව සමස්ත ජනතාවටම අදාළය.