අතුරුදන්  පේරාදෙණි සිසුවාගේ  මළසිරුර සොයා ගනී

0
119

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිවුවැනි වසරේ අතුරුදන් වූ සිසුවාගේ මළසිරුර ඊයේ (21දා) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත්  ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළින් පිටවීමට පෙර සිසුවා විසින් ලියා තිබූ ලිපියක් හමුවූ අතර තමන් මහවැලි ගඟට යන බව ඔහු එහි සඳහන් කර තිබීම නිසා පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුන් දින ගණනාවක් තිස්සේ මහවැලි ගඟ දෙපස පරීක්ෂාවට ලක්කරනු ලැබීය.

ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හා ඇස් කණ්ණාඩි යුගල ඔහු නවාතැන් ගෙන සිටි පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසේ කාමරය තුළ සොයාගැනීම නිසා මොහු දිවිනසා ගන්නට ඇතැයි තදබල සැකයක් ඇතිව තිබිණි.

සිසුවාගේ මළසිරුර දින ගණනාවක් ජලයේ තිබීම නිසා ඉදිමී බෙහෙවින් නරක් වී ඇති අතර එය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ තිබූ බවත් විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කළ නිල් පැහැති ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති කලිසමක් ඇඳ තිබූ පුද්ගල මළසිරුරක් නිසා එය අදාළ සිසුවාගේ වන්නට ඇතැයි සැකකළ බවත් පොලිසිය පැවැසීය.

පසුව එම සිසුවාගේ මවුපියන් පැමිණ මළසිරුර හඳුනාගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ මනෝවේදී විශේෂ උපාධිය හදාරමින් සිටියදී අංජන කුලතුංග (23) නමැති තම දරුවා අතුරුදන් වූ බව පවසමින් ඔහුගේ මවුපියන් පසුගිය 16 දින පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

කමල් සුරවීර