“යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධ සැලසුම් අවුල් වෙයි”: පුටින්ගෙන් අලුත් නියෝගයක් (VIDEO)

0
746

යුක්‍රේනයේ සටන් කිරීම සඳහා හමුදා සාමාජිකයින් 300,000ක් බඳවා ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (සැප්. 21) නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර රටවල්වලින් න්‍යෂ්ටික තර්ජන එල්ල වන්නේ නම්, රුසියාව සිය දැවැන්ත අවි ශක්තිය යොදා ගනිමින් ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවේ එවැනි බලමුලු ගැන්වීමක් සිදු වූ පළමු අවස්ථාව බව ත් මාස 7ක් තිස්සේ සිදු වන යුද්ධයේ උත්සන්න වීමක් බව ත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රූපවාහිනිය ඔස්සේ රුසියානු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයකදී පුටින් සඳහන් කර ඇත්තේ, “අපේ රටේ භෞමික අඛණ්ඩතාව තර්ජනයට ලක්වුවහොත්, අපගේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා පවතින සියලු මාර්ග භාවිත කරන්නෙමු. එය වචනයට සීමා වුණු දෙයක් නොවෙයි,” යනුවෙනි.

රුසියාවට “පිළිතුරු දීමට බොහෝ ආයුධ තිබුණා,” යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

නව හමුදා සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම පියවර සිය හමුදා අර්ධ බලමුලු ගැන්වීමක් බව ත් එය පෙර මිලිටරි අත්දැකීම් ඇති අයට වඩා ත් අදාළ වනු ඇති බව ත් ය.

දෙවන ලෝක සංග්‍රාමයේ සිට රුසියාව ගැටුම් ගණනාවකට සම්බන්ධ වී ඇතත්, ඉන් පසුව එවැනි කැඳවීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

රුසියානු – යුක්‍රේන ගැටුම ආරම්භයේ සිට රුසියානු සොල්දාදුවන් 5,397ක් මිය ගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය මාසයේදී රුසියානු භටයින් 70,000ත් 80,000ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇතැයි විශ්වාස කරන බව ත් ජූලි මාසයේදී රුසියාවේ මරණ සංඛ්‍යාව 15,000ක් පමණ යැයි ගණන් බලා ඇති බව ත් ය.

රුසියානු හමුදා බලමුලු ගැන්වීම පුරෝකථනය කළ හැකි පියවරක් වූ බව ත් එය ඔවුන්ගේ ම අසාර්ථකත්වය සාධාරණීකරණය කිරීමේ උත්සහයක් ලෙස පෙනෙන බව ත් ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා සඳහන් කර තිබේ.

යුද්ධය රුසියාවේ සැලැස්ම අනුව සිදු නොවූ බවට එමගින් අවධාරණය වූ බව ද ඔහු සඳහන් කර ඇත.

රුසියාව දැනටමත් 2014 වසරේදී අර්ධ වශයෙන් අත්පත් කරගත් ඩොන්බාස් කලාපය සමන්විත වන ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්, ස්වාධීන රාජ්‍යයන් ලෙස සලකයි.

යුක්‍රේනය සහ බටහිර රටවල් සලකන්නේ, රුසියානු හමුදා අල්ලා ගෙන සිටින යුක්‍රේනයේ සියලු ම කොටස් නීති විරෝධී ලෙස අත්පත් කර ගත් ඒවා බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව මේ වන විට ඩොනෙට්ස්ක්හි 60%ක් පමණ අල්ලාගෙන සිටින අතර මාස කිහිපයක තිස්සේ සිදු කළ සටන්වලින් අනතුරුව ලුහාන්ස්ක් සියල්ල ම පාහේ අල්ලාගෙන ඇති බව ය.

කෙසේ වෙතත්, ඊට ආසන්නයේ පිහිටා ඇති කාර්කිව් පළාතෙන් යුක්‍රේනය රුසියානු හමුදා පළවා හැරීමෙන් පසු එම ජයග්‍රහණ දැන් තර්ජනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (සැප්. 21) සිදු කළ ප්‍රකාශයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දුන්නේ, ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 2.5%කින් ඉහළ ගොස් ඇති බව ත් මේ වන විට එහි නව මිල අමෙරිකානු ඩොලර් 92.90ක් ලෙස සටහන් වී ඇති බව ත් ය.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ අමෙරිකානු ඩොලර් 1.38කින් පහළ බැස තිබුණු බව ද එම වාර්තා පෙන්වා දී ඇත.

WTI බොරතෙල් බැරලයක මිල ද 2.6% කින් ඉහළ ගොස් ඇතැයි එහි දැක්වේ.