උදැල්ලකින් පහර දී අවුරුදු 16ක දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කරලා

0
371

ගල්ගමුව පොලිස් වසමේ පළුකන්දෑව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

මරණකරුවන් වයස අවුරුදු 16ක් සහ 67ක් වන අඹන්පොල සහ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

පොලිසිය සඳහන් කළේ, සැකකරු උදෑසන කාලයේ සිට බීමත්ව නිවසේ ඇති භාණ්ඩ විනාශ කරමින් සිට ඇති අතර පසුව සවස් කාලයේ බිරිඳගේ පියා සහ නිවස අසල පදිංචි බිරිඳගේ සහෝදරියකගේ පුතෙකු සමග ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

පහර දීමෙන් බිරිඳගේ පියා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ මෘත ශරීරය එම ස්ථානයේ ම ඇත.

බරපතළ තුවාල ලබා සිටි බිරිඳගේ සහෝදරියගේ පුතා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

ඝාතනය සඳහා යොදා ගත් උදැල්ල සමග වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු 30ක් වූ අකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු සහ කාන්තාවක, මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් කාන්තාවකගේ ගමන් බෑගයක් කොල්ලකෑමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අල්ලා ගැනීමට යාමේදී යතුරුපැදිකරු විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාට පිහියකින් ඇන තුවාල සිදු කර තිබේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

සැකකරු සහ සැකකාරිය පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර මූතූර්, භාරතීපුරම් ප්‍රදේශයේදී පිහියකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මරණකරු වයස අවුරුදු 50ක් වූ භාරතීපුරම්, කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පිහියකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.