AIA ඉන්ෂුවරන්ස් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම් රැසක්

0
18

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂ මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇති බව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෘෘනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්‍රී  ලංකාව යන රටවල්වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරයි.

  ආසියාවේ රක්ෂණ ක්‍ෂේත්‍රය තුළ  පුළුල් විෂයයන් හරහා වසර 30කට වැඩි ක්‍රමෝපායික අත්දැකීම් සහ හසළ දැනුම මෙන්ම වසර 11ක් පුරාවට AIA සමූහය තුළ ලබාගත් අත්දැකීම් සමුදායක්ද  ටැන් හක් ලේ මහතා  සතුවේ.  එක්සත් රාජධානියේ හෙරියට් වට් විශ්වවිද්‍යාලයෙන් ආයුගණක ගණිතය සහ සංඛ්‍යාලේඛන සඳහා පිරිනමන ලද පළමු පන්තියේ ගෞරව උපාධියක් දරන ඔහු  එක්සත් රාජධානියේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙක් ද වෙයි.

හක් ලේ මහතාගේ මෙම පත්වීම, ශ්‍රී  ලංකාවේ ව්‍යාපාර දැනට පවතින අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණය තුළ ශක්තිමත්ව සහ සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යෑමට මහත් අත්වැලක් වනු ඇත.

හක් ලේ මහතාගේ මෙම පත්වීම AIA ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකාහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම හා සමඟම සිදුවිය. 2022 මැයි මාසයේදී AIA හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ චතුරි මුණවීර මහත්මිය, AIA සමූහය මඟින් AIA ශ්‍රී  ලංකා සමාගම අත්පත් කර ගැනීමෙන් පසු සමාගමේ මෙම ප්‍රධාන විධායක තනතුර හෙබවීම සඳහා තේරී පත් වූ ප්‍රථම කාන්තාවයි.

චතුරි මුණවීර මහත්මිය ශ්‍රී  ලංකා රක්ෂණ ක්‍ෂේත්‍රය තුළ වසර 25කට අධික ඉහළ අත්දැකීම් සහිත විධායක නිලධාරිනියකි.  ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර ඇය AIA ඉන්ෂුවරන්ස්හි (AIA ශ්‍රී  ලංකා) නීති සහ මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂවරියද වූ අතර ජීවිත මෙහෙයුම්, ආයතනික නීති, සමාගම් ලේකම් කටයුතු පිළිබඳව  සහ බාහිර සබඳතා පිළිබඳවද වගකීම් දරන ලදී. එමෙන්ම මුණවීර මහත්මිය සමාගමේ මානව සම්පත් පිළිබඳ සහ අනුකූලතා පිළිබඳව ප්‍රධාන නිලධාරිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර ඇත.

  වසර 2006 යේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ විධායක කමිටු සාමාජිකාවක් වූ ඇය සමාගමේ ක්‍රමෝපායික සැලසුම් සහ ව්‍යාපාර ජයග්‍රහණ වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටුකර ඇත. චතුරි මුණවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,  AIA සමූහයේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිතයක් බවට පත්කිරීමට අදාළ සංකීර්ණ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමේ කර්තව්‍ය සඳහා ද නායකත්වය දෙන ලදී.