රුහුණු සරසවියෙන් දියවැඩියාවට බෙහෙතක්

4
1550

රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටිති.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, එම ඖෂධය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (සැප්. 20දා) කරාපිටියේ පිහිටි රුහුණ ‍විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ය.

කෝවක්කා පැළෑටියේ රසායනිකයන් පිළිබඳ දීර්ඝ කාලයක් කරන ලද අධ්‍යයනයකින් පසු මෙම ඖෂධය නිපදවීමට හැකිවූ බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී, වෛද්‍ය පීඨයේ ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක මහත්මිය පැවසුවා ය.

මහාචාර්ය ආනෝජා අත්තනායක මහත්මිය, වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර්ය තිලක් වීරරත්න, ජෛව රසායන විද්‍යාව අංශයේ මහාචාර්ය කමනි ජයතිලක මහත්මිය, ආචාර්ය පියුමි වාසනා මහත්මිය යන කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර තිබේ.

කෝවක්කා ශාකයේ රසායනිකයන් මගින් රුධිරගත සීනි අඩු කිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණයක් කිරීම සඳහා 2017 වර්ෂයේදී ජාතික පර්යේෂණ ආයතනයට (NRP) ඉදිරිපත් කරන ලද යෝජනාවකට රුපියල් ලක්ෂ 47ක අරමුදල් ලැබීමෙන් මෙම පර්යේෂණය ආරම්භ කර තිබේ.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව, කෝවක්කා ශාක පත්‍රයේ රසායනිකයන් රුධිරගත සීනි අඩු කිරීමට සමත් වන බව තහවුරු කරගත් පර්යේෂකයන් එමගින් ඖෂධීය කරලක් නිපදවා ඇත. ඉන්පසු රසායනික ප්‍රේරිත සතුන් යොදා එහි පළමු අදියරේ පර්යේෂණ සිදුකර නියමිත මාත්‍රාව විශ්ලේෂණය කළ බව පර්යේෂක කණ්ඩායම පවසයි.

ඉන් පසු මෙම ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමු කර ඇත.

මහාචාර්ය තිලක් වීරරත්නගේ අධීක්ෂණයෙන් අලුතින් හඳුනාගත් දියවැඩියා රෝගීන් 158 දෙනෙකු යොදා සායනික පරීක්ෂණ සිදු කර තිබේ.

මෙම නව ඖෂධය භාවිතයෙන් කිසිදු පුද්ගලයෙකුට අහිතකර තත්ත්වයක් ඇති නොවන බවත් මිනිස් රුධිරයේ ඇති අහිතකර මේද තත්ත්වයත් අඩු කරන්නට මේ නව ඖෂධය සමත් වන බවත් අපිට මාස තුනක සායනික පරීක්ෂණවලින් තහවුරු කරගත හැකිවූ බව මහාචාර්යවරයා පැවසීය.

සායනික පර්යේෂණ ද සාර්ථක වූ පසු ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව ඉහළ ශේ‍ර්ණිගත කිරීම් සහිත Phytomedicine ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. එය ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක්වූ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කරන සඟරාවකි.

මීට අමතරව පර්යේෂක කණ්ඩායම විසින් තමන් නිපදවන ලද නව ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගෙන තිබේ.

ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ලෙස පර්යේෂණයට දායක වූ පියුමි වාසනා මහත්මිය පවසන්නේ, කෝවක්කා පත්‍රයේ ඇති රසායනිකයන් හඳුනාගෙන ඒවා සුදුසු පරිදි නිස්සාරණය කර අදාළ පර්යේෂණ සිදුකරමින් ඖෂධය නිපද වූ බව ත් දැනටමත් හිමිව ඇති ජාත්‍යන්තර පිළිගැනීම සහ පේටන්ට් බලපත්‍රයෙන් ලැබී ඇති අයිතිය අනුව රුහුණ විශ්වවිද්‍යා‍ලයේ වෛද්‍ය පීඨය මැදිහත් වී‍ මෙම ඖෂධය ඉදිරියේදී වාණිජ වශයෙන් නිපදවීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියා ය.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ කෝවක්කා පත්‍රයේ රසායනිකයන් හඳුනාගෙන වෛද්‍ය පර්යේෂණ මගින් ඖෂධයක් නිපදවා ඇතත් කෝවක්කා පැළෑටිය අසාමාන්‍ය ලෙස ආහාරයට නොගන්නා ලෙස තමන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය. එම ශාකයේ රසායනිකයන්ගෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කළ හැකි වුව ද එය හිතුමතයේ නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ආහාරයට ගැනීම මිනිස් සිරුරට හානිකර විය හැකි බව ද ඇය පෙන්වා දෙයි.

මෙහිදී පර්යේෂණ කණ්ඩායම වැඩිදුරට ත් කියා සිටියේ වෛද්‍ය නිර්දේශ නැතිව කෝවක්කා දිනපතා අධික ලෙස ‍ආහාරයට නොගත යුතු බව ය.

මෙම සාකච්ඡාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහත්වරු ද සහභාගි වූහ.

4 COMMENTS

  1. Bohoma sathutudaayaka puwathak. Nawa nipayum soyaa gathtu pisiwalata sidu una dewal nowee meya
    yatharthayak wela rogi janathawata sahanayak wena mema behetha welanda polata nikuth kirimata heki pamana ikmanin katayuthu kireemata waga kivayuthu siyalu sarwabaladhari niladharintayi/niladhariniyantayi karunaawa saha budhdhiya pahala wewayi pararthanaa karami.

  2. Bohoma sathutudaayaka puwathak. Nawa nipayum soyaa gathtu piriswalata sidu una dewal nowee meya
    yatharthayak wela rogi janathawata sahanayak wena mema behetha welanda polata nikuth kirimata heki pamana ikmanin katayuthu kireemata waga kivayuthu siyalu sarwabaladhari niladharintayi/niladhariniyantayi karunaawa saha budhdhiya pahala wewayi pararthanaa karami.

  3. ඇයි යකඩෝ මේ තීරුවට ආයුර්වේදෙ, දේශීය
    වෙදකමේ නමක්වත් ඇතුල් කරන්න තරම්වත් …….. කෙළෙහි ගුණයක් නැද්ද?
    අවුරුදු දහස් ගානක් ඉදලා අපි දියවැඩියාවට
    පාවිච්චි කරපු ඹෞෂධයක් මොකක් හරි ක්‍රමවේදයක් දාලා කරලක් කරනකොට ඒ අවම සදාචාරයවත් රකින්න මේ මහත්තුරුන්ට බැරි ද? අනෙක් ආයුර්වේද බෙහෙත් බොනවා කියලා රෝගීන්ව එලවන
    සායන පොත් විසි කරන අයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න සදාචාරයක් තියනව ද?

  4. මේ වගේ ලිපියක මේ බෙහෙත් අවුරුදු දහස් ගණනක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් දේශීය වෛද්‍ය ක්‍රමයේත් දියවැඩියාවට භාවිතා කරන ඖෂධයක් බව
    සදහන් කිරීම කල යුතුයි. ආයුර්වේද බෙහෙතක් බිව්වයි කිව්වහම සායන පොත් විසි කරලා රෝගියාව බැනලා එලවලා දාන වෛද්‍යවරුන් දැන් ඒවයින්ම කරල් හදලා ඒවා හොදයි කියන තැනට පත් වෙලා තියනවා.

Comments are closed.