සෙලින්කෝ ලයිෆ් “ප්‍රණාම ශිෂ්‍යත්ව“ වැඩසටහනෙන් තවත් සිසු දරුවන් 147 දෙනකුගේ සිහිනවලට තටු

0
11

අධ්‍යයන සහ බාහිර ක්‍රියාකාරකම්වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 147ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.1ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් “ප්‍රණාම” ශිෂ්‍යත්ව වැඩසටහනේ 2.1 වැනි අදියරේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලදී.

අඛණ්ඩව දෙවැනි වරට මෙම උත්සවය Zoom ඔස්සේ සජීවීව විකාශය කළ අතර මේ සඳහා මවුපියන්, ගුරුවරුන්, ශිෂ්‍යත්ව ලාභීන් ඇතුළු 200කට වැඩි පිරිසක් සහභාගි වූහ. මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජේ‍යෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙම මාර්ගගත වැඩසටහනේ ආරාධිත දේශකයා ලෙසින් එක්වූ බව සමාගම සඳහන් කරයි. 

මීට අමතරව මෙම උත්සව සභාව ගාල්ල දිස්ත්‍රික්කයේ අපොස උසස් පෙළ ප්‍රථම ස්ථානය දිනාගත් බී. අමන්දි දිල්හාරා සමරවික්‍රම සහ යාපනය දිස්ත්‍රික්කයේ අපොස උසස් පෙළ ප්‍රථම ස්ථානය දිනාගත් තනරාජ් සුන්දර්භවන් යන අයද අමතන ලදී.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේදී පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දූ පුතුනට හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත්‍රික් මට්ටමේ ඉහළම ප්‍රතිඵල ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් “ප්‍රණාම” ශිෂ්‍යත්ව ලබාදුන් අතර ක්‍රීඩාව, සංස්කෘතිය, කලාව, නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන් හිමිකරගත්

තරුණ තරුණියන්ටද මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් “ප්‍රණාම” ශිෂ්‍යත්ව පිරිනැමීමට අමතරව අ.පො.ස. උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික්ක මට්ටමින් දෙවැනි, තෙවැනි හෝ සිවුවැනි ස්ථාන හිමිකරගත් ඔප්පු හිමියන්ගේ දරුවන්ට එම ජයග්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.