සෙලාන් බැංකුව හා ලංකා වාණිජ මණ්ඩලය එක්වී පුත්තලම ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වයි

0
14

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA)  සමඟ එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාරවලට අවශ්‍ය දැනුම සහ මූල්‍යමය විස¾දුම් ලබාදීමට කටයුතු කළ බවත් විශ්වාස කරමින්, එම ව්‍යාපාරවලට අවශ්‍ය නිසි මඟපෙන්වීම ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. එහි තවත් පියවරක් වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු මාලාවක් පැවැත්වීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටී.

පුත්තලම ප්‍රදේශයේ පැවැති වැඩමුළුව දන්කොටුව පෝසිලෙන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාරිභෝගිකයන් කාණ්ඩගත කිරීම, සන්නාමකරණය හා එහි වැදගත්කම, අලෙවිකරණය හා එහි අභියෝග, තාක්ෂණය හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, සැලසුම් සකස් කිරීම හා එම සැලසුම්වලට අනුකූලව කටයුතු කිරීම සහ මූල්‍ය විස¾දුම් යන ප්‍රධාන ක්ෂේත්‍ර එහිදී ආවරණය කරන ලදි. කෘෂිකර්මය, වෙළඳාම, තොරතුරු තාක්ෂණය, ලුණු නිෂ්පාදනය, කුළුබඩු අපනයනය, ඇඟලුම්, කරවල නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළු මාලාවේ තුන්වැනි වැඩමුළුව මෙය වූ අතර, මීට පෙර රත්නපුර සහ අනුරාධපුර යන ප්‍රදේශවල වැඩමුළු පවත්වන ලදි.

“මෙවැනි වැඩසටහන් හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමටත්, ඔවුන්ට තම හැකියාවන්ගෙන් නිසි ප්‍රයෝජන ලැබීමට මංපෙත් විවර කරදීමටත් සෙලාන් බැංකුව උත්සාහ කරනවා. නව දැනුම සොයා යමින්, වෙනස්කම්වලට අනුගත වෙමින්, පවතින තත්ත්වයන්ට අභියෝග කිරීමට අවශ්‍ය ආකල්ප වර්ධනය කරගත හැකි නම්, මෙම දුෂ්කර කාලය තුළ දියුණුව ළඟා කරගනිමින්, සමස්ත රටේම දියුණුවට දායක වීමට එම ව්‍යාපාරවලට හැකියාව ලැබේවි. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටට කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් දුටුවා. එම ව්‍යාපාර කාණ්ඩය අපගේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ අතරින් එකක් බවට පත්වී ඇත්තේ ඒ නිසයි.

2020 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමේදී පුද්ගලික බැංකු අතර තුන්වැනි විශාලතම දායකත්වය ලබාදී ඇත්තේ සෙලාන් බැංකුව බවත්, එම සහයෝගය අප අදටත් නොවෙනස්ව ලබාදෙන බවත් ප්‍රකට කරුණක්. එහි තවත් පියවරක් වශයෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපාරවල දියුණුව රටේ ආර්ථිකයට අතිශයින් වැදගත්. ඒ නිසාම මෙම ව්‍යාපාර ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සෙලාන් බැංකුව සෑම විටම සූදානම්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවැසීය.