සිඟිත්තාට කිරි පැකට්ටුවක් ගන්න නෙලුම් අල හාරන ආදිවාසී යුවළක්

0
47

මවුකිරි නොඑරීම නිසා වෛද්‍යවරුන් නියම කරන ලද කිරි පැකට්ටුව ගැනීමට ආර්ථික ශක්තියක් නොමැතිව මාස එකහමාරක  ළදරුවාට කිරිපිටි පැකට්ටුවක් ලබාගැනීමට අවශ්‍ය  මුදල සොයා ගැනීමට නෙලුම් අල හාරන ආදිවාසී යුවළක් දිඹුලාගල දලුකාන  ගම්මානයෙන් අපට හමුවිය.

දලුකාන ගම්මානයේ පදිංචි තිස්හත් වියැති ඒ. ඒ. සීතා ප්‍රියදර්ශනී සහ ස්වාමියා වන ටී.ජී. මනෝජ් ප්‍රසන්න ‍ෙදාළොස් හැවිරිදි දැරියද කැටුව දලුකාන වැව අසල තිබෙන වළක නෙලුම් අල හාරා ඉන් ලබා ගන්නා මුදලින් අදාළ කිරි පැකට්ටුව ලබාගැනීමට වෙහෙස මහන්සි වෙති.

සහෝදරයාගේ නිවෙසේ පදිංචිව සිටින සීතා ප්‍රියදර්ශනීට ඉඩමක්, නිවෙසක්, නොමැති අතර ඇයට රජයෙන් සමෘද්ධි දීමනාවද නොලැබේ.

තම ස්වාමියාද කුලී රැකියාවේ නිරත වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර පලංචියකින් වැටී ආබාධිතව සිටින අතර වෙනත් රැකියාවක් කිරීමටද නොහැකිය.

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලබන ‍ෙදාළොස් වියැති මනීෂා සෙව්වන්දි දින කිහිපයක් පාසල වෙත යැවීමටද නොහැකි වී ඇත්තේ ඇයට කෑමක්, බීමක්, ලබා දීමට නොහැකි නිසා බව සීතා ප්‍රියදර්ශනී හැඬ­ූ කඳුළින් අප සමඟ පැවසුවාය.

දින කිහිපයක් මැල්ලුම් සහ අඹ මාලුවකින් කුස පුරවාගත් මෙකී පවුුලට අලුත උපන් සාමාජිකයා වන සංතුස් දෙනෙත් ප්‍රසන්න පුතණුවන්ට වෛද්‍යවරුන් නියම කර ඇති කිරි ලබා දීමට නොහැකිව මෙම මව, පියා, දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

“මහත්තයෝ මම ඉන්න ඉඩමෙන් මගේ සහෝදරයෝ අද හෙට යන්න කියනවා, මට යන්න තැනක් නෑ, රජයෙන් කියලා සමෘද්ධියවත් නෑ. මේ පුතාට දැන් මාස එකහමාරයි. මට කිරි එරෙන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරුන් කිරිපිටි වර්ගයක් නියම කළා. ඒ කිරිපිටි වර්ගය අරන් සතියක් යනකොට ඒක ඉවර වෙනවා.

කිරිපිටි පැකට් එකක්  ගන්න රුපියල් දෙදහස් පන්සියයක් ඕනේ. දැන් දින කිහිපයක් තිස්සේ අපිට කිරිපිටි ගන්න වත්කමක් තිබුණේ නැහැ. මහත්තයගෙ දකුණු අත පනිනවා. එයා පලංචියෙන් වැටිලා අමාරුවෙන් ඉන්නේ. ඉතින් කිරිපිටි පැකට් එකක් ගන්න ඕන නිසා අපි දලුකාන වැව පාමුලට ගිහිල්ලා නෙලුම් අල හාරලා කිලෝ එකක් රුපියල් 500 ගාණේ කඩේට දීලා කොහොම හරි දරුවාට ඕන කිරි පැකට් එක ගන්න තමයි මේ හදන්නේ.”

සීතා ප්‍රියදර්ශනී හැඬ­ූ කඳුළින් පැවැසුවාය.

“මගේ දුව දැන් දවස් ගාණක් පාසල් ඇරියේ නැහැ. එයාට කන්ඩ බොන්ඩ දෙන්න විදිහක් නෑ. මැල්ලුම් වගේකුයි, අඹයි කාලා දවස් කීපයක් අපි ජීවත් වුණා. ඉතින් ලොකු උදව්වක් මගේ මේ පුතාට කිරි පැකට් එකක් ගන්නත්, දුව පාසල් යවන්නත් අපිට උදවු කළොත් පින් අත්වෙනවා.” සීතා ප්‍රියදර්ශනී කඳුළු සලමින් දුක් ගැනවිල්ල පැවැසුවාය.

දුක් කන්දරාවක ජීවත්වන එකී පවුලට ඔබට යමක් කළ හැකි නම් ඒ උතුම් පින්කමක්.

ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර.  ඒ.ඒ. සීතා ප්‍රියදර්ශනී, මහජන බැංකුව කදුරුවෙල, ගිණුම් අංකය 005200170090808, දුරකථන අංකය 0726629426.

මනම්පිටිය _ නිමල් ජයරත්න