සැකකරුට ඇප දුන්නොත් සාක්‍ෂි රැසක් වසන් වේවි

0
31

විශ්ව ශක්තියෙන් වයස 12 දැරිය ගැබිනියක් කරන බැව් කියා ලිංගික අතවර කළැයි කියන විශ්වශක්ති කපුවා බන්ධනාගාරය මඟින් කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදුව නැවතත් ඔක්තෝබර් මස 03 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුලියාපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා 20 දින නියම කළේය.

තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ කුලියාපිටිය, විලපොල, පල්ලෙවෙල ප්‍රදේශයේ සුව මෙහෙයන් පවත්වන බව කියන රුෂාන් චින්තක විජේසූරිය නමැති එක්දරු පියෙකි. සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබූ අතර බන්ධනාගාරය භාරයෙන් යළි ඉදිරිපත් කිරීමේදී එසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

දැරියන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් දැරියන් පොලිසිය හමුවේ එවැන්නක් නොවූ බව පැවැසුවත් සැකකරුගේ බිරිය දැරියන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී එවැන්නක් සිදුව තිබූ බවට අනාවරණය වූ කතාබහ සැකකරුගේ බිරිය විසින් ඒවා පටිගත කර ඥාතිවරයකුට යොමුකොට තිබූ වට්ස්ඇප් පණිවුඩයක සඳහන්ව තිබූ බවත් පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පැවැසීය. සැකකරු ජංගම දුරකථනයේ දත්ත ලැප්ටොප් පරිගණකයකට ඇතුළු කරන බව බිරිය ප්‍රකාශයක් ලබාදී ඇති නිසා ලැප්ටොප් පරිගණකය හා බිරියගේ වට්ස්ඇප් පණිවුඩය හේතුවෙන් බිරියගේ ජංගම දුරකථනයත් පොලිසිය භාරයට ගෙන ඇති බව පවසමින් එහි දත්ත ප්‍රතිඋත්පාදනය සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

වින්දිත දැරියගේ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු කී නීතිඥ උපුල් අලගියවන්න මහතාද කියා සිටියේ දැරියගේ වැඩිමහල් සොහොයුරා රැකියාවට යන තෙක් සිට යට ඇඳුම පිටින් නිදා සිටින වින්දිත දැරියගේ රූප රාමු ජංගම දුරකථනයෙන් ලබාගත් බවට තොරතුරු පවතින බවයි. සැකකරුගේ නොපෙනෙන ශක්තියක් ඇතැයි කියමින් බියවැද්දීම හේතුවෙන් දැරිය මෙම සිදුවීම් මාලාව සිතේ තදකරගෙන දැඩි මානසික පීඩාවෙන් සිට ඇති බවද අධිකරණය හමුවේ පැවැසීය.

දැරිය ප්‍රදේශයේ විසීම ප්‍රතික්‍ෂේප කරමින් වේයන්ගොඩ ප්‍රදේශයට යෑමත් සමඟ අනාරක්‍ෂිත බැවින් මිදීමෙන් පසු මවුපියන්ට මේ බව පවසා පැමිණිල්ලක් කළ බවත් සැකකරුගේ බිරිය ඥාතිවරියකුට යවා තිබූ වට්ස්ඇප් පණිවුඩය ඉතා බරපතළ ප්‍රකාශයක් අඩංගු බැවින් සැකකරුට ඇප ලබාදුනහොත් සාක්‍ෂි රැසක් වසන්වීමට ඉඩ ඇති බවත් පැවැසීය. සැකකරු ආයුර්වේද වෙදෙක් බව හඟවමින් යූ ටියුබ් හා මුහුණු පොත ඔස්සේ විවිධ මත පළ කරමින් සිටින බැවින් සැකකරු තාක්‍ෂණය විශාල වශයෙන් භාවිත කරන බවද වින්දිත දැරියගේ නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේය.

සැකකරු වෙනුවෙන් කරුණු කී නීතිඥයන් එහිදී කියා සිටියේ සාක්‍ෂිවලට බලපෑම් ඇති කරන බවට තහවුරු කරන කිසිදු කරුණක් අධිකරණය හමුවේ අනාවරණය නොවූ බවයි. මෙතෙක් කළැයි කියන පරීක්‍ෂණ අනුවත් කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවද පවසමින් සැකකරු ආයුර්වේද ක්‍රම මඟින් රෝගීන් සිය දහස් ගණනක් සුවකර ඇති අයෙක් බැවින් විශාල ජනකායක් ඔහු වෙත ඇදෙන නිසා ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් සැලසුම් කළ පැමිණිල්ලක් විනා මෙහි සත්‍යතාවක් නොවන බවද සැකකරුගේ නීතිඥයෝ අධිකරණයට කරුණු කීහ. අත්අඩංගුවට ගෙන තිබූ ඉකුත් 17දා විශාල සෙනඟක් සිටියදී ප්‍රදේශයේ

කිහිපදෙනකු පැමිණ සැකකරුට තර්ජනය කර තිබූ බවත් ඒ සමඟම පැමිණිල්ල සටහන්ව තිබීමත් තර්ජනය කළ පිරිස වෙද මැඳුර අසල සිටියදීම පොලිසියෙන් වහා ක්‍රියාත්මකව කළ අත්අඩංගුවට ගැනීමත් සැලකීමේදී මෙය හිතාමතා කළ පැමිණිල්ලක් බව පැහැදිලි බව පැවැසීය. සැකකරු දෙනෝ දාහක් සුවපත් කිරීමේ කටයුතු කර නිවෙසට ගොස් ඇත්තේ නිදා ගැනීමට පමණක් නිසා එවැනි කටයුතුවල නියැළීමට කිසිසේත් අවස්ථාවක් නොවන නිසා ඕනෑම කොන්දේසියකට යටත් කොට සැකකරු වෙනුවෙන් ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටියහ.

ඊට තදින් විරෝධය පාමින් පොලිසිය කියා සිටියේ සැකකරු ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ බදාදා, සෙනසුරාදා දිනයන්හි පමණක් බවත් සෙසු දින 5 එවැනි අපරාධයක් කිරීමට ප්‍රමාණවත් බවයි.

දීර්ඝව ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බව පවසමින් සැකකරු යළිත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළේය.

කුලියාපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කපිල සිල්වා, උප පොලිස් පරීක්‍ෂක කරුණාරත්න, කාන්තා පොලිස් සැරයන් චතුරිකා (2571) යන නිලධාරීන් සමඟින් නීතිඥ උපුල් අලගියවන්න මහතා පැමිණිල්ල මෙහෙයවූ නඩුවේ සැකකාර කපුවා වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්ටිගමගේ, චම්පික ලසිත කුමාර, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර