වැඩි මිලට වී ගන්න පිටින් එන මෝල්හිමියන්ට පොළොන්නරුවේ ‍ෙදාර වහලා

0
9

පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ කිසිදු ස්ථානයක රජය මඟින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම අවස්ථාව කරගනිමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහ පරිමාණ වී මෝල්හිමිකරුවන් තම වී අස්වනු තරගකාරී ලෙස කුණු කොල්ලයට ලබා ගනිමින් සිටින බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

මේ වන විට පොළොන්නරුවේ ඇතැම් වී මෝල් ව්‍යාපාරවල දැවැන්තයන් ගම්බිම්වලට මෙන්ම වී අස්වනු නෙළන ස්ථානයටම පැමිණ නාඩු, කීරි සම්බා, සම්බා ඇතුළු සියලු වර්ගයේ වී කිලෝවක් රුපියල් 90ත් 100ත් අතර මිලකට ලබාගනිමින් ගොවියා අන්ත අසරණභාවයට පත්කර ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරති.

අනුරාධපුර ඇතුළු පිටස්තර ප්‍රදේශවලින් මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් පොළොන්නරුවට පැමිණ ගොවීන්ගේ වී අස්වනු වැඩි මිලට ලබාගැනීමට සූදානම් වුවද ඔවුනට පොළොන්නරුව දිස්ත්‍රික්කයට  ඇතුළු වීමට නොහැකි වන තත්ත්වයක්් නිර්මාණය කර ඇති බවද පොළොන්නරුවේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

ගොවීන් සහ රජය හිතූ පරිදි  මෙවර සාමාන්‍යයෙන් අක්කරයකින්  වී කිලෝ පන්දාහක් හයදායක් අතර ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි බවත්, එම වී අස්වනු කිලෝ 2500ත් 3500ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇත්තේ රජය නිසි වේලාවට රසායනික පොහොර ලබානොදීම හේතුවෙන් බවද ගොවීහු සඳහන් කරති.

ඒ අනුව පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වී අස්වනු 50%කින් අඩුවී ඇති බවත්, මෙම තත්ත්වය  සැලකිල්ලට ගෙන රජය කඩිනමින් මැදිහත් වී අවම තරමේ වී කිලෝවක් රුපියල් 150කටවත් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, පෞද්ගලික වෙළෙඳුන්ට රුපියල් එකසිය පනහකට වී කිලෝවක් ලබාගන්නා ලෙසට සහතික මිලක් නියම කරන ලෙසද ගොවීහු ජනාධිපතිවරයාගෙන් හා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

මහවැලි බී කලාපයේ ගොවි ජනතාව වී වගාව සම්බන්ධයෙන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ සේනපුර මහවැලි කොට්ඨාසයේ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ මහතා මෙසේ කීවේය. “මහත්තයෝ මෙවර යල කන්නයේ පොළොන්නරුවේ ගොවියා අන්ත අසරණ වුණා. අපි දහ දුක් විඳලා රජයේ පොහොර නැතුව වගා කරලා කුඹුරු අක්කරයකින් වී කිලෝ 2500ක් 3500ක් විතර ගත්තා. ඒ වී ටිකත් පොළොන්නරුවේ මහා පරිමාණ මෝල්ලු තුට්ටු දෙකට ගන්නවා. රජයේ සහතික මිලට කිසිම ස්ථානයක පොළොන්නරුවේ වී ලබාගැනීමක් වෙන්නේ නෑ.

මනම්පිටියෙ  වී කිලෝ ලක්ෂ විස්සක් පුරවන්න පුළුවන් ගබඩා දෙකක් තියෙනවා. නමුත් මෙතෙක් වී ඇටයක් අරන් නෑ. ඒකේ වාසිය පොළොන්නරුවේ මහා පරිමාණ මුදලාලිලා ලබාගන්නවා. අනුරාධපුර, මරදගහමුල වී මුදලාලිලා කීයක් හරි වැඩියෙන් අපේ වී ටික ගන්න එද්දී ඒකටත් පොළොන්නරුවේ මුදලාලිලා හරස් වෙලා. ඒ අය මඟදි හරවලා යවනවා. පොළොන්නරුවේ අපේ වී ගන්න ඕනෑ තරම් ගබඩා තියෙනවා. නමුත් වී ටික ගන්නෑ. මහා පරිමාණ වී මෝල් හිමියන්ට අපේ වී අස්වනු තුට්ටු දෙකට  ගන්න රජය අවස්ථාව ලබාදීලා ඉන්නවා.”

ඒ පිළිබඳව රජය මඟින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ අප වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී, ගොවියාගේ වී මිලදී ගැනීමට රජයෙන් මෙතෙක් මුදල් ප්‍රතිපාදන ලබාදී නොමැති බවත්, වී අලෙවි මණ්ඩලයෙන් මේ වන විට පොළොන්නරුව ගබඩාවට කිලෝ හයදාහක් ලබාගෙන තිබෙන බවත් වී මිලදී ගැනීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගබඩා තිහක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවත් ඔහු සඳහන් කළේය.

මනම්පිටිය – නිමල් ජයරත්න