රුහුණු සරසවියෙන් දියවැඩියාවට බෙහෙතක්

0
14

රුධිරයේ සීනි මට්ටම අඩුකරන නව ඔෟෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටිති.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ එම ඔෟෂධය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (20දා) කරාපිටියේ පිහිටි රුහුණ ‍විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

කෝවක්කා පැළෑටියේ රසායනිකයන් පිළිබඳ දීර්ඝ කාලයක් කරන ලද අධ්‍යයනයකින් පසු මෙම ඔෟෂධය නිපදවීමට හැකිවූ බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි, වෛද්‍ය පීඨයේ ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක මහත්මිය පවසයි.

මහාචාර්ය ආනෝජා අත්තනායක මහත්මිය, වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා  මහාචාර්ය තිලක් වීරරත්න, ජෛව රසායන විද්‍යාව අංශයේ මහාචාර්ය කමනි ජයතිලක මහත්මිය, ආචාර්ය පියුමි වාසනා මහත්මිය යන කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර තිබේ.

කෝවක්කා ශාකයේ රසායනිකයන් මඟින් රුධිරගත සීනි අඩුකිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණයක් කිරීම සඳහා 2017 වර්ෂයේදී ජාතික පර්යේෂණ ආයතනයට (NRP) ඉදිරිපත් කරන ලද යෝජනාවකට රුපියල් ලක්ෂ 47ක අරමුදල් ලැබීමෙන් මෙම පර්යේෂණය ආරම්භ කර තිබේ.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව කෝවක්කා ශාක පත්‍රයේ රසායනිකයන් රුධිරගත සීනි අඩුකිරීමට සමත් වන බව තහවුරු කරගත් පර්යේෂකයන් එමඟින් ඔෟෂධීය කරලක් නිපදවා ඇත. ඉන්පසු රසායනික ප්‍රේරිත සතුන් යොදා එහි පළමු අදියරේ පර්යේෂණ සිදුකර නියමිත මාත්‍රාව විශ්ලේෂණය කළ බව පර්යේෂක කණ්ඩායම පවසයි.

ඉන් පසු මෙම ඔෟෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර ඇත.

මහාචාර්ය තිලක් වීරරත්නගේ අධීක්ෂණයෙන් අලුතින් හ¾දුනාගත් දියවැඩියා රෝගීන් 158 දෙනකු යොදා සායනික පරීක්ෂණ සිදුකර තිබේ.

මෙම නව ඔෟෂධය භාවිතයෙන් කිසිදු පුද්ගලයකුට අහිතකර තත්ත්වයක් ඇති නොවන බවත් මිනිස් රුධිරයේ ඇති අහිතකර මේද තත්ත්වයත් අඩුකරන්නට මේ නව ඔෟෂධය සමත් වන බවත් අපිට මාස තුනක සායනික පරීක්ෂණවලින් තහවුරු කරගත හැකිවූ බව මහාචාර්යවරයා පැවැසීය.

සායනික පර්යේෂණද සාර්ථක වූ පසු ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව ඉහළ ශේ‍ර්ණිගත කිරීම් සහිත Phytomedicine ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. එය ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක්වූ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කරන සඟරාවකි.

මීට අමතරව පර්යේෂක කණ්ඩායම විසින් තමන් නිපදවූ නව ඔෟෂධය සඳහා පේටන්ට් බලපත්‍රයක්ද ලබාගෙන තිබේ.

ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ලෙස පර්යේෂණයට දායක වූ පියුමි වාසනා මහත්මිය පවසන්නේ කෝවක්කා පත්‍රයේ ඇති රසායනිකයන් හ¾දුනාගෙන ඒවා සුදුසු පරිදි නිස්සාරණය කර අදාළ පර්යේෂණ සිදුකරමින් ඔෟෂධය නිපදවූ බවත් දැනටමත් හිමිව ඇති ජාත්‍යන්තර පිළිගැනීම සහ පේටන්ට් බලපත්‍රයෙන් ලැබී ඇති අයිතිය අනුව රුහුණ විශ්වවිද්‍යා‍ලයේ වෛද්‍ය පීඨය මැදිහත් වී‍ මෙම ඔෟෂධය ඉදිරියේදී වාණිජ වශයෙන් නිපදවීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ කෝවක්කා පත්‍රයේ රසායනිකයන් හ¾දුනාගෙන වෛද්‍ය පර්යේෂණ මඟින් ඔෟෂධයක් නිපදවා ඇතත් කෝවක්කා පැළෑටිය අසාමාන්‍ය ලෙස ආහාරයට නොගන්නා ලෙස තමන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. එම ශාකයේ රසායනිකයන්ගෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කළ හැකි වුවද එය හිතුමතයේ නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ආහාරයට ගැනීම මිනිස් සිරුරට හානිකර විය හැකි බවද ඇය පෙන්වා දෙයි.

මෙහිදී පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය නිර්දේශ නැතිව කෝවක්කා දිනපතා අධික ලෙස ‍ආහාරයට නොගත යුතු බවය.

මෙම සාකච්ඡාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහත්වරුද සහභාගි වූහ.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්,

ගාල්ල – කමල් විජේහේවා