රාජ්‍ය සේවා කප්පාදු තීරණයෙන් මහනුවර ගිනි නිවන්න බාධා

0
14

රාජ්‍ය සේවා බඳවාගැනීම් නතර කිරීමේ චක්‍රලේඛය නිසා මහනුවර නගර සභා ගිනි නිවීම් ඒකකයේ පුරප්පාඩු පිරවිය නොහැකි තත්ත්වයක් මතුව ඇත. මේ නිසා පුහුණු තාක්ෂණ සේවකයන් නොමැතිකමින් මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකක පවත්වාගෙන යෑමේ අර්බුද රැසක් උද්ගතව පවතින බව වාර්තා වේ.

මහනුවර මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඒකකය මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටා ඇති අතර තවත් අනු ඒකකයක් මහනුවර මහයියාව ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇත. ඊට අමතරව තවත් ඒකකයක් මහනුවර නගර මධ්‍යයේ ඩී.එස්. සේනානායක පුස්තකාල පරිශ්‍රයේ ඇති අතර මෙම ඒකක සියල්ල ආවරණය වීම සඳහා අඩුම වශයෙන් 65ක් පමණ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ 27ක් පමණ සුළු පිරිසක් බවත් මෙම පිරිසෙන්ද කිහිප දෙනෙක් වයස 60 සීමාව මත ඉදිරි දින කිහිපය තුළ විශ්‍රාම යෑමට නියමිත බවත් තවත් පිරිසක් සේවයෙන් නිවාඩු ගෙන විදේශ රැකියා සඳහා ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් කාර්යබහුල නගරයකට අත්‍යවශ්‍ය සේවාවක් වන ගිනි නිවීමේ සේවාව අඩාල වීමේ බලවත් ගැටලුවක් මේ වනවිට උද්ගතව පවතින බව මහනුවර පුරවැසියෝ හා ව්‍යාපාරිකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා සඳහන් කළේ මෙම අර්බුදකාරි තත්ත්වය සත්‍යයක් බවය. මෙම සේවක පුරප්පාඩු සඳහා සුදුසු කණ්ඩායමක් සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරාගෙන තිබුණද රජය මඟින් නිකුත් කොට ඇති රාජ්‍ය සේවා සඳහා බඳවා ගැනීම් තහනම් කිරීමේ චක්‍රලේඛ හේතුවෙන් එම කණ්ඩායම බඳවාගැනීමට නොහැකි වී ඇති බවද එබැවින් ඉදිරියේදී හදිසි ගිනි නිවීම් සේවා පවත්වාගැනීමේ දැඩි ගැටලු හා අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව පවතින බවද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.

මහනුවර – කේ.එල්. සුරවීර