රයිනෝ සමාගම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ මෙහෙවරක

0
30

ගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැඟිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙනි.

මෙම සිදුවීමෙන් අනතුරුව මෙම දරුවන් මුහුණ පාන විවිධාකාර වූ දුෂ්කරතා පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. එම දරුවන්ට අවශ්‍ය පහසුකම් නොපමාව සැලසීමේ වැදගත්කම අවබෝධ කරගත් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පවා ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කළේය.

1992 ජුනි 12 වැනි දින සිසුන් 60 දෙනකුගෙන් ආරම්භ වූ ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙහි මේ වනවිට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් සිසු සිසුවියෝ 2,250ක් පමණ ඉගෙනුම ලබති. කෙසේ නමුත් පසුගිය කාලය තුළ එම පාසලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවූ අතර, විශේෂයෙන්ම ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටින දරු දැරියන්ට එමඟින් විශාල බලපෑමක් එල්ල විය. එම තත්ත්වය හ¾දුනා ගනිමින්, දරුවන්ට සුරක්ෂිත ලෙස අධ්‍යාපනය ලැබීමට හැකි වන ආකාරයට පාසල් ගොඩනැඟිල්ල නවීකරණය කිරීම සඳහා, රයිනෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ එහි ඉහළ කළමනාකාරිත්වය තීරණය කළේය.

“රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙරමුණ ගන්නේ දරුවන් සහ තරුණ පරපුර කියා මා විශ්වාස කරනවා. වගකීම් සහගත ආයතන සහ වැඩිහිටියන් වශයෙන් අප ඔවුන්ට අනාගත නායකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය අත්වැල ලබාදිය යුතුයි. පාසල යනු සෑම දරුවකුගේම ජීවිතයේ මූලික අඩිතාලමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අධ්‍යාපනය යනු කාටත් සමානව හිමිවිය යුතු වරප්‍රසාදයක්.

එය ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ටත් නො-අඩුව ලබාදීම සඳහා මැදිහත් වීමට අප තීරණය කළා. එමෙන්ම මේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ශුභාශිංසන පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ.ජේ. ඥානම් මහතා පැවැසීය.