රට හදන තැන

0
64

ආණ්ඩු පක්‍ෂය විසින් ගෙනා “ජාතික සභාව“ ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පළ කළ  අදහස්. පාර්ලිමේන්තුව අද (21දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

සැලැස්මක් නැති ‘එදා වේල ටුවර්ස්’වලින් මේ අර්බුදය විසඳන්න බැහැ : – විමල් වීරවංශ

“ජාතික සභාව කියන සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ අපේ පක්‍ෂ එකමුතුවෙන්. ඒ පක්‍ෂ එකමුතුවෙන් හිටපු ජනාධිපතිවරයාට අප්‍රේල් 08 වැනිදා ඒක ලිඛිතව ලබා දුන්නා.

එයින් අපි ඉදිරිපත් කළේ සර්වපාක්‍ෂික වැඩපිළිවෙළක් සහ සර්වපාක්‍ෂික එකඟතාවක්. ඒ සර්වපාක්‍ෂික එකඟතාව ක්‍රියාවට නංවන ව්‍යුහය හැටියට ජාතික සභාවක් අපි ඉදිරිපත් කළ සංකල්පය තුළ තිබුණේ. ජාතික සභාවෙන් තමයි පාලනය, තනතුරු, ඇමැති මණ්ඩලය කීයද, ඇමැතිවරු කවුද, රාජ්‍ය ඇමැතිවරු ඉන්නවාද නැද්ද, වෙනත් පත්වීම් ආදී සියල්ල සාකච්ඡා කර තීරණය කිරීම සඳහා තමයි ඒ ජාතික සභාව කියන ක්‍රමවේදය, ව්‍යුහය අපි යෝජනා කළේ.

විශේෂයෙන් තනි පුද්ගලයෙක් විසින් සියලු තීරණ අරගන්නවා. අරගෙන ඒවා වරදිනවා. වැරදුණාම සියලු දෙනාට ඒකේ බැට කන්න සිද්ධ වෙනවා. දැන් හිටපු ජනාධිපතිවරයාට සිද්ධ වුණේ ඒක. තනි තීරණ ගත්තා දේශපාලන වශයෙන්. සැලකිය යුතු පිරිසක් අතරේ සාකච්ඡාවක් නැතිවුණා. තනි තීරණ ගත්තා. ඒවා වැරදුණා. ඒකේ වගකීම සියලු දෙනාටම කරගහන්න වෙනවා. අන්න ඒක වෙන එක නතර කරන්න තමයි සාමූහික තීරණ ගන්නත්, ගනු ලැබූ සාමූහික තීරණ වෙනුවෙන් සියලු දෙනාම පෙනී ඉන්නත් ඒ පදනම ඇති කිරීම සඳහා තමයි අපි ඔය යෝජනාව කළේ.

විධායක ජනාධිපතිවරයෙක් රට පාලනය කරන කොට ඒ ජනාධිපතිවරයාට හිතෙන විධියට වැඩ කරලා ඒවා හරි ගියා නම් මෙහෙම ව්‍යුහයක් ඕන වෙන්නේ නැහැ.

හොඳම උදාහරණය තමයි කාබනික ගොවිතැන පිළිබඳ ගත් දඩබ්බර තීරණය. හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද මහතා ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉඳලා එතුමා දේශපාලන වශයෙන් විශාල හානියක් කර ගත්තා. දැන් ඊයේ පෙරේදා එතුමා කියනවා මම කරගැහුවේ මේකෙ නිර්මාතෘ අහවලා කියලා. අන්න ඒ සංස්කෘතියෙන් එළියට ගන්න සාමූහික තීරණ ගන්න සාමූහිකව පෙනී ඉන්න එහෙම ඕන මේ විධියේ අර්බුදයකදී.

අද අපේ රටේ ජනතාව මුහුණදීලා ඉන්න අර්බුදයකදී ගනු ලබන තීරණ සාමූහික වෙන්න ඕනේ. ඒවා වෙනුවෙන් සාමූහිකව පෙනී ඉන්න ඕන. හැබැයි මේ කියන ජාතික සභාව ඒ කියන ජාතික සභාවේ භූමිකාව අයත් කර ගත් එකක් නෙවෙයි. තීරණ ගන්නවා ජනාධිපති, ඇමැති මණ්ඩලය ඒවා ක්‍රියාවට නංවනව. ඕන නම් මේ ජාතික සභාවට ඒවා වැරදුණාට පස්සේ ගෙනල්ලා වැරැද්දුවා නේද, මොකද වැරැද්දුවේ, වරද්දන්න නැතුව කරන්න බැරිවුණේ ඇයි කියලා පසු විපරමක් කරන්න පුළුවන්. පෙර දැක්මක්, පෙර පෙන්වීමක් හැකියාවක් මේ ව්‍යුහයට නැහැ.

ඒ නිසා අපි මුලින්ම අවධාරණය කරනවා අද යෝජනා කළ ව්‍යුහය අපි ඉදිරිපත් කළ ව්‍යුහය නොවෙයි. දැන් තියෙන්නේ සර්වපාක්‍ෂික පාලනයකුත් නොවෙයි. සර්වපාක්‍ෂික පාලනයක් ඇතිකර ගන්න ප්‍රධාන වශයෙන් රටේ ජනාධිපතිවරයා ඇතුළු අයට උනන්දුවක් නැති බවයි අපිට පෙනුණේ. ඒ නිසා දැන් අපි කල්පනා කරන්නේ අපි බලාපොරොත්තු වුණ ව්‍යුහය නොවුණත් මේ ඇති කරන ව්‍යුහයෙන් දැනට වඩා යම්කිසි සහනයක්, ප්‍රගතිශීලී පැත්තට පෙළඹවීමක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඒ ගැන ප්‍රායෝගිකව බලන්න අපි සූදානම්.

අපි මේ කතා කරන වෙලාවේ ඇති කරන ලද ආර්ථික අර්බුදය විසින් සමාජයේ සෑම ස්තරයක්ම විශාල ලෙස බැටකන වෙලාවක්. අපේ රටේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරිව අසරණ වෙලා ඉන්නවා. කර්මාන්තකරුවෝ තමන්ගේ කර්මාන්ත වැහෙන්න බලාගෙන ඉන්න වෙලා තියෙනවා.

අද විදේශීය ආයතන භාණ්ඩ ගේන එක නතර කර තියෙනවා. සමහර නිෂ්පාදන නතර කර තියෙනවා. හැබැයි එයින් විවෘත වෙලා තියෙනවා වෙළෙඳපොළේ අවකාශයක්. ඒ කර්මාන්තකරුවන්ට කියනවා අපිට දැන් පිටින් ගේන්න බැහැ. ඕගොල්ලෝ අපි ඉල්ලන ප්‍රමාණය නිෂ්පාදනය කරලා දෙන්න. හැබැයි දෙන්න ගියාම ඒකට ඕන අමුද්‍රව්‍ය නැහැ.

මම ඇමැතිවරයා හැටියට ඉන්න කාලයේ රාජ්‍ය ඇමැති නිවාඩ් කබ්රාල් ඇමැතිවරයාත්, අපි දෙන්නා සතියක් දෙකක් මහන්සි වෙලා හැම අමාත්‍යාංශයකම නිලධාරීන් ගෙන්වලා ඒ වන විටත් පී.බී. ජයසුන්දර ආනයනික ද්‍රව්‍ය ලැයිස්තුවක් නවත්තලා තිබුණේ. ඒ ලැයිස්තුව නැවත සමාලෝචනය කරලා කර්මාන්තවලට හානියක් වන ඒවා විතරක් ඉවත් කරලා අනිත් ටික අපි පෙන්නා දුන්නා.

ඒ දුන්න වාර්තාව අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. පී.බී. ජයසුන්දර ඒක ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. රටේ ජනාධිපති ඔක්කොම භාරදීලා තිබුණේ පී.බී. ජයසුන්දරට. ඒක ගත්තා නම් ඔය කියන අනවශ්‍ය ආනයන නවත්වන්නත් පුළුවන්. කර්මාන්තකරුවාට ඕන කරන අමුද්‍රව්‍ය ටික ගේන්න පාර හදලා දෙන්නත් පුළුවන්.

මහ බැංකුව කරන්නේ මේ ආර්ථිකය හකුළන එක. හරිනේ ඉතින් පරිභෝජනය නැත්තටම නැතිවුණාම පිටරටින් ගේන්න ඕන වෙන්නේ නැහැනේ. මේ රටේ මිනිස්සු එක වේලක් කාලා නම් ඉන්නේ අමුතුවෙන් ආනයනික දේවල් ගේන්න ඕන වෙන්නේ නැහැනේ. මේ ආර්ථිකය හකුළනවා කියන්නේ බඩපොත්ත පිටපොත්තටම අලවන එකද? කවුද අන්තිමට ඉතුරු වෙන්නේ. මේ අර්බුදය අවස්ථාවක් බවට පත්කර ගන්න නම් අන්න අර නිෂ්පාදන අවකාශයට ඉඩ දෙන්න ඕන.

ඒකෙ තියෙන ගැටලු ටික විසඳගන්න ඕන. ඒ ගැටලු විසඳනවාට වඩා ජනාධිපතිතුමාට ලොකුයි බකින්හැම් මාලිගාවට ගිහින් රැජිනගේ අවමඟුල් උත්සවයට සහභාගි වෙන එක. ඉතින් ඒවාට ඩොලර් තියෙනවා. මම හිතන්නේ 7, 8ක් ගියා. මේ අසල්වැසි ඉන්දියාවෙත් එහෙම ගියේ නැහැ. මම දන්න විධියට ඉන්දියාව යැව්වේ ඉන්දියවේ ජනාධිපතිගේ නියෝජිතයෙක්. මෙහේ රටේ නායකයාම ගියා. මට ප්‍රශ්නයක් නැහැ ගිය එකට.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන්ද කොහෙද දාපු නිවේදනයේ අහවල් කාලයේ සිට අහවල් කාලය දක්වා ශ්‍රී  ලංකාව පාලනය කළ එහෙමයි මේ රැජින ගැන ලියන්නේ. මම දන්නේ නැහැ මෙහෙම නිවට මානසිකත්වයක් ඇතිව මේ තියෙන ආර්ථික අර්බුදයට හොයන්නේ කොහොමද? ඔය කියන එංගලන්තය තමයි ඇන්ටන් බාලසිංහම්ව කවා පොවා ඇති දැඩි කළේ. ඒ අය තමයි අදත් ජිනීවාවල අපේ රණවිරුවන්ට විරුද්ධව යෝජනා ගේන්නේ. ඒ අය තමයි අපේ ඓතිහාසික දැනුම් පද්ධති පුස්කොළ පොත්ටික කොල්ල කෑවේ. අපේ වනාන්තර ටික එළි කරලා අරගෙන ගියේ.

ඒ නිසා ඒ ඉතිහාසය නොදන්න මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ, ඒ ගැන තැකීමක්, හැඟීමක් නැති මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ එහෙම පාලනයකට මේ විධියේ ආර්ථික අර්බුදයකින් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මෙතැන පළමුවෙන්ම චින්තනමය වෙනසක් තියෙන්න ඕන. මේ අර්බුදය දිහා පරණ ඇහෙන් නම් බලන්නේ, පරණ විධියට නම් හිතන්නේ රැජිනගේ අවමඟුලට යන එක ලොකුයි අනෙක් ඔක්කොටම වඩා කියලා හිතන්නේ. ඒවා පරණ සිතුවිලි. පරණ හිතන විධියෙන් මේ අර්බුදයට උත්තර හොයන්න බැහැ. ආදර්ශයක් දෙන්න ඕන රටට. ආදර්ශයක් දෙන්න ඕන. එහෙම ඕනකමක් තියා හැඟීමක්වත් අපිට පේන්නේ නැහැ.

මේ ජාතික සභාව හදන එකට අපිට ලොකු බලාපොරොත්තුවක්, විශ්වාසයක් නැහැ. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

දැන් සමහරු හිතාගෙන ඉන්නවා මේ තෙල් ටික ගෙනත් දුන්නොත්, ගෑස් ටික ගෙනත් දුන්නොත් රටේ මිනිස්සු මේ ඔක්කොම දරාගෙන ඉඳී කියලා. එහෙම හිතන්න එපා. මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ. දැනට බඩගින්නේ ඉන්නේ දරුවෝ ඉන්න තාත්තලාගේ ආවේගය තවම පිටවුණේ නැහැ. ඒ නිසා කලින් ආවේ තෙල් ටික නැති වුණු, විදුලිය කැපීම එක්ක ආවේගය ඇතිවුණු මිනිස්සු. බඩගින්න විසින් මෙහෙයවනු ලද මිනිස්සු නෙවෙයි.

ඊළඟට මේ රටේ එන්නේ බඩගින්න විසින් මෙහෙයවන මිනිස්සු. කන්න නැනිකමට ප්‍රකෝපකාරීව ක්‍රියාත්මක වන මිනිස්සු. ඉතින් ඒක දැකලා ඒක වෙන එක වළක්වා ගන්න ප්ලෑන් එකක් අපිට ඕනේ. ජාතික සභාවල් හැදුවට වැඩක් නැහැ. කෝ පොදු සැලැස්මක්.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණාම ඇහුවා, ජනාධිපති වුණාම ඇහුවා මොකක්ද සැලැස්ම අපට දෙන්න. දෙනවා කිව්වා. මිනි බජට් එකක් දෙනවා කිව්වා. මිනි බජට් මොකක්ද එකක් ගෙනාවා. ප්ලෑන් එකක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද පීඩනයෙන් ගොඩඑන විධිය ගැන ආණ්ඩුවට තියෙන සැලැස්ම. පිළිබඳව දැනගන්න. සැලැස්මක් තිබෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. සැලැස්මක් නැත්නම් සැලැස්මක් නැතිව යන එදා වේල ටුවර්ස්වලට මේ අර්බුදයට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතා ඕනකමින් ඉල්ලනවා මේකත් එක්ක තවදුරටත් සෙල්ලම් කරන්න එපා.”

සිගරැට්වලට බදු වැඩි නොකර මිල වැඩි කෙරුවට වැඩක් නැහැ : – රාජිත සේනාරත්න

පසුගිය කාලයේ අපේ රජය යටතේ අපි දුම්වැටිවලට සියයට 90ක් බදු ගැහුවා. ඒක ලෝකයේ ගහපු විශාලම බද්ද යැයි ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රි දෙස්තර රාජිත සේනාරත්න පැවසීය.

“ඒ වෙලාවේ යුරෝපීය දුම්කොළ සමාගමේ සියලුම නියෝජිතයන් වෙනම ගුවන්යානයක් අරගෙන ලංකාවට ඇවිල්ලා අපේ අගමැතිතුමා ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා ටුබැකෝ සමාගම වහන්න වෙනවා කියලා. ඒ වෙලාවේ අවුරුදු 134ක ආයෝජනය ඔවුන් කිව්වේ ඔවුන් සියයට එකයි ආදායම කියලා. පස්සේ ඔවුන්ව අගමැතිතුමා එව්වා මා එක්ක කතා කරන්න. මගේ සාකච්ඡාවේදී ඒ අය පිළිගත්තා, පිළිඅරගෙන ඒ අය ආපසු ගියා බෙහොම ස්තුතියි කියලා. ඒ අයගේ දුම්කොළ සමාගමේ නියෝජිතයන් එක්කත් දුරකථනයෙන් කතා කරලා ගියා.

ඒ වෙලාවේ ඔබතුමාට මතකද එදත් භාණ්ඩාගාරය විරුද්ධ වුණා. ඒ වලාවේ එදා රජය කැබිනට් අනුකාරක සභාවක් පත් කළා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන්. දීර්ඝ තර්ක විතර්ක කරලා තමයි අවසානයේදී සියයට 90ට ඉඩ දුන්නේ.

ඊට කලින් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ 1990 – 1993 වෙනකනුත් සියයට 90ක් ගහලා තිබුණා. ඒ දිහා බලලා තමයි මම බය නැතුව 90 ගැහුවේ. මම බි්‍රතාන්‍ය සමාගමෙන් ඒක ඇහුවාම ඒ අය දැනගෙන හිටියේ නැහැ. ලංකාවේ සමාගමෙන් ඇහුවාම ඒ අයට උත්තර නැති වුණා.

ලංකාවේ 40,000ක් දුම්කොළවලින් විතරක් මිය යනවා. ලෝකයේ අවුරුද්දකට මිලියන 4ක් මිය යනවා. එතකොට මේවා දිහා බලන්නේ නැති එකයි ප්‍රශ්නය තියෙන්නේ. අපි සියයට 90ක් බදු ගැහුවාම හැම අවුරුද්දේම ඒ කාලපරිච්ඡේදයේ බිලියනයකින් සිගරැට් බීම අඩුවුණා. ඔබතුමාටත් ඒ පින අයිති වෙනවා. මොකද ඔබතුමා තමයි සභාපති ධුරයේ හිටපු ඒ කොමිටියේ තමයි අන්තිමට අනුමත කළේ.

ඒ නිසා මම කියනවා සිගරැට් මිල වැඩි කරලා වැඩක් නැහැ සිගරැට්වල බදු වැඩි කරන්න ඕන.”

කාබනික පෝර වැඩේ හොඳ වුණත් රටේම එකවර ක්‍රියාත්මක කරන්න ගිය එක වැරදියි : – මහින්දානන්ද අලුත්ගමගේ

“මහ කොළඹ ඉඳපු ලොකුම පාතාල නායකයා තමයි කංජිපානි ඉම්රාන්. එයාව ගෙනල්ලා මගේ කාර් සේල් එක කවදාවත් විවෘත කර ගත්තේ නැහැ”යි පො.ජ. පෙ. මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

“ඉතින් ඒ නිසා අපි කවදාවත් එහෙම වැරදි වැඩ කරලා නැහැ. ඒ නිසා ඒක වගකීමකින් කියන්න ඕන.

ඒ නිසා කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට මම වසර දෙකක් කටයුතු කළා. මම දිගටම කිව්වේ පොහොර කියන විෂය මට නෙවෙයි තිබුණේ. මට තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් කෘෂි රක්ෂණ මණ්ඩලයත් පමණයි.

මම පොහොර සමාගම් පොහොර ආනයනය කිරීම් මේ කිසිවක් මගේ යටතේ නෙවෙයි තිබුණේ. හැබැයි රජය ගත්ත තීන්දුවත් එක්ක මම හිට ගත්තා. ඒ වෙනුවෙන් මම පෙනී සිටියා. මම ඒක පිළිගන්නවා. ඒක කැබිනට් එකේ සාමූහික තීන්දුවක් නිසා මම  ඒ තීන්දුව ගත්තේ.

ඉන්දියාවේ පොහොර ගැන කිව්වා. ඒ ඉන්දියාවේ පොහොර ඔක්කොම ලංකාවට ආවා. ගොවියන්ට බෙදුවා. ඒකේ වංචාවක් තියෙනවා කිව්වම මම තමයි CID එකට කැබිනට් ඇමැතිවරයෙක් හැටියට ඉස්සෙල්ලම පැමිණිල්ල දැම්මේ. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියනවා මම පිළිගන්නවා අපි කාබනික ප්‍රතිපත්තිය රටේම එකවර ගත්ත එක වැරදියි. නමුත් ඒක ඉතාම හොඳ තීන්දුවක්.

අපි රටේ එකවර තීන්දු කරන්න ගිය නිසා තමයි අපි එතන වැරැද්ද කර ගත්තේ. ඒ නිසා චීන පොහොර නැව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස්වලට පිටින් කිසිම දෙයක් අපි සිද්ධ කරලා නැහැ. ඒ නිසා මම ඇමැතිවරයා හැටියට හොයලා බලලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් මට අයිති රාජකාරියක් නොවෙයි. මගේ විෂය පථය යටතේ නෙවෙයි තිබුණේ.  ඒ නිසා මට ඒ චෝදනාව දාන්න එපා.”

ජාතික සභා මඟින් කටයුතු කරන්නැයි අරගලකරුවනුත් ඉල්ලා සිටියා : – අජිත් මාන්නප්පෙරුම

“ආණ්ඩුව සිදු කළ වැරදි මූල්‍ය පාලනය නිසා ඩීසල්, පෙට්රල්, ගෑස්, විදුලිය හිඟ  වුණා. අදටත් මේ ගැටලුව විසඳන්න බැරිවෙලා” යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම පැවැසීය.

“ජාතික සභාව කියන එක මේ රටේ ආර්ථික, දේශපාලන ප්‍රශ්න උග්‍ර වෙන කොට සමගි ජන බලවේගය විසින් විශේෂයෙන්ම මහලේකම් මද්දුමබණ්ඩාර මහතා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික සභාව කියන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. ඒ වගේම අරගලකරුවන්ගේ ඉල්ලීමකුත් බවට පත් වුණා ජාතික සභාව මඟින් කටයුතු කරන්න කියලා.

පසුගිය අවුරුදු දෙකහමාරදීම රසායනික පොහොර තහනම ඇති කළා. මේ ප්‍රශ්නය නිසා ගොවි පවුල් පාරට වැටිලා. ජනාධිපතිවරයා ඒක පිළිගෙන ගෙදර ගියාට ඒ ගොවි පවුල් ගොඩනඟන්න තාම හැකියාවක් ලැබිලා නෑ. ඒ ගොවි පවුල් අතරමං වීම නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට ආහාර ලබා ගැනීමේ ප්‍රශ්නයක් උද්ගත වෙලා.

රෝහල්වල ඇති ඔෟෂධ හිඟය බැලුවොත් අද පැනඩෝල් පෙත්තක්වත් රෝහල්වල නෑ. බෙහෙත් තිබ්බොත් බෙහෙත් ගන්න එන ජනතාව අතේ සල්ලි නැති නිසා හැරිලා යනවා.

මේ රටේ උපාධිධාරීන්, රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව කවදාවත් ඉතිහාසයේ නැති විධියට 20,000ක් ඉක්මවලා තියෙනවා. අලුත් රැකියා බිහි නොවුණොත් රැකියා කරමින් ඉන්න ලක්ෂ 5කට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා. මේ රටේ ජීවත් වෙන්න බැරි නිසාම තරුණ පිරිස් නීත්‍යනුකූලව වගේම, නීත්‍යනුකූල නොවන විධියටත් රට හැර යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි රටේ ජනතාව එළියට බැස්සේ. ගෙවල් පුච්චපු, වාහන ගිනි තියපු අය ගැන නෙවෙයි කියන්නේ.

සාමාන්‍ය ජනතාව දේශපාලන භේදයකින් තොරව එළියට බැහැලා මූලික අවශ්‍යතා දෙකක් ඉල්ලුවා. එකක් මේ ආණ්ඩුවට මේක කරගෙන යන්න බෑ. ඒ නිසා ජාතික සභාවක් පත් කරලා පාර්ලිමේන්තුවේ ඉන්න නෙවෙයි ප්‍රශ්න විසඳන්න පුළුවන් ජාතික සභාවක් පත් කරලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කියන එක තමයි ජනතාව කිව්වේ. දෙවැනි එක තමයි මේ රජය කරපු වංචා,  දූෂණ, හොරකම්වල මුදල් අපිට හා නීතිය හමුවට වගකිව යුත්තන්ව ගෙනැල්ලා මුදල් ටික නැවත ලබා දෙන්න කියලා. මේ අරගලය පැරදිලා නෑ. මේ අරගලය සුළුපටු අරගලයක් නෙවෙයි.”

ජාතික සභාව කියන කපටි යෝජනාවට අපේ සහායක් නැහැ : – අනුර කුමාර දිසානායක

“ජාතික සභාව කියන කපටි, වංක යෝජනාවට අපේ සහාය නෑ” යැයි ජාතික ජන බලවේගයේ  කොළඹ  දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක  පැවැසීය.

“ජාතික සභාව“ ගැන එදා විපක්ෂය කිව්ව  එකයි අද යෝජනා කරන එකයි තුළ පරස්පරභාවයක්  තිබෙනවා. විපක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කළා තමයි. නමුත් ඒ ජාතික සභාවේ ප්‍රධාන කරුණු ගණනාවක් අඩංගුයි. ඒ අනුව ගොඩනැඟෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්ද? එහි පටන්ගැන්ම හා අවසානය සඳහන් වුණා. හැබැයි දැන් මේ යෝජනා කරන ජාතික සභාවේ යම් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ එම  ආණ්ඩුව  ක්‍රියාත්මක කිරීම ගැන  මොකුත්  සඳහන් නෑ. ජාතික සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ යෝජනා අනුව තමයි එහි මූලික පත් කිරීම් සිදු වන්නේ.

අගමැති පත් කිරීම, කැබිනට් මණ්ඩලය ඇතුළු පත්කිරීම්  හා ඒ ඒ  විෂය පථය මීට අදාළයි. හැබැයි මේ ඔක්කොම දැන්  පත් කරල ඉවරයි. ජාතික සභාවේ මූලික හරය මේ යෝජනාව තුළ ගැබ්වී නෑ. පාර්ලිමේන්තුවට පැවරී තිබෙන මූල්‍ය වගකීම අනුව ආණ්ඩුව අය – වැය ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හැබැයි ඒ මුදල් වියදම් කළ ආකාරය ගැන පරික්ෂා විය යුතුයි. අඩුම තරමේ කෝප් සහ කෝපා සභාපති ධුරයන් වත් විපක්ෂයට ලබා නොදී ජාතික සභාවකට අපිට එන්නලු. මේ ජාතික සභාව   සම්පූර්ණ බොරුවක්.

ආර්ථීක ස්ථාවරත්වය නිසා දේශපාලන අස්ථාවරත්වය නිර්මාණය වුණා. එහෙම නම් ආර්ථීක අස්ථාවර භාවය ඇති වූ හේතු යම් ප්‍රමාණයක් හෝ සමනය කරන්න නම් ජාතික සභාවට බලය තියෙන්න ඕනැ. ආර්ථික අර්බුදයට රටේ ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් දේශපාලන අස්ථාවරත්වය. මේ සංස්කෘතිය තුළ  වංචාව, නාස්තිය, දූෂණය, නීතියට උඩින් දේශපාලනය ක්‍රියාත්මක වීම යන කාරණා ඒ තුළ තිබෙනවා. එහෙනම් මේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. නමුත් ඒවා නොකර අමාත්‍යවරුන් පත් කරලත් ඉවරයි. ගෑස්, තෙල් මිල දී ගත්තේ අක්‍රමිකතා කරලා. දැන් ඒ අය අපිට කියනවා ජාතික සභාවකට එන්න කියලා. මේ සියල්ලන්ගෙන්ම පෙන්නුම් කරන්නේ මේ දේශපාලන සංස්කෘතිය විසඳන්න මොහොතකටවත් මේගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ කියලා.

අනිත් කාරණය තමයි  කෙටිකාලීන  ආර්ථික අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළ. එහෙම කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ටිකවත් පාර්ලිමේන්තුවට දෙන්නේ නැහැ. ඒව නොකියා අපිට කතා කරනවා ජාතික සභාවකට එන්න කියලා. ආණ්ඩුව කරන මේ යෝජනාව තුළ අවංකභාවයක් නෑ. යථාර්ථවාදයක් නෑ. අශ්වයා ගිය පසු ඉස්තාලය වහනවා වගේ දෙයක් තමයි මෙතැන තිබෙන්නේ. ඒ නිසා මේකට අපේ සහයෝගයක් ලබා දෙන්න බැහැ. මේ තුළ කිසිම විස¾දුමක් ආර්ථිකය වෙනුවෙන් ඇතිකර දී නැහැ.”

රාජ්‍ය ඇමැතිවරු 40ක් විතර පත් කළ එක වහන්න ජාතික සභා සංකල්පය සුදු පිරුවටයක් කැරගෙන : – ඩලස් අලහප්පෙරුම

“ජාතික සභා සංකල්පය අප්‍රේල් මාසයේ පක්ෂ 11ක සන්ධානයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක්. හැබැයි දැන් අපිට පෙනෙන්නේ ඒ යෝජනාවේ අවශ්‍යතාවත් කුමක්ද කියලා හොයන්නේ, තේරුම්ගන්නේ නැතිව යන්නන් වාලේ, කරන්නන් වාලේ මේක නිකන් පිරුවටයක් විධියට පාවිච්චි කරන බවයැයි” පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලප්පෙරුම මහතා පැවැසීය.

“විශේෂයෙන්ම අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව කියන වචනය ඇතුළේ තමයි මේ සංකල්පය ගොඩනැඟෙන්නේ. හැබැයි සියල්ල අවසන් කරලා මීට දවස් හත අටකට කලින් රාජ්‍ය ඇමැතිවරුනුත් 40 දෙනෙක් විතර පත් කරලා දැන් ඒ සියල්ල වහගන්න සුදු පිරුවටයක් විධියට ජාතික සභා සංකල්පය ඉදිරිපත් කරනවා කියන එක තමයි අපේ විශ්වාසය.

ඒ නිසා මේක දේශපාලන මූලෝපායක් විධියට නෙවෙයි දේශපාලන කූටෝපායක් විධියට ජාතික සභාව කියන සංකල්පය අපයෝජනය කරනවා කියන එකයි අපේ තේරුම් ගැනීම සහ අපේ විශ්වාසය.

අපි කැමැතියි මේක දිහා මානයන් තුනකින් බලන්න. පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට, පුරවැසිමානයෙන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තුන්වැනි විශාලම කණ්ඩායම විධියට, විපක්ෂය නියෝජනය කරන දෙවැනිම විශාල කණ්ඩායම විධියට අපි මේක දිහා බලන්න කැමැතියි.

ජාතික ආණ්ඩුව කියන එක ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. ඉතාම අර්බුදකාරී අවස්ථාවන්වලදී ආසන්න ඉන්දියාවේ ඉඳලා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපට ලබාදුන් මහා බි්‍රතාන්‍ය දක්වා අර්බුදකාරී තත්ත්වයක් ඇතුළේ සියලුදෙනා එකතු වෙලා ජාතික ආණ්ඩු නිර්මාණය කරලා තියෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ අද තියෙන යෝජනාව ඇරෙන්න කිසිම ප්‍රතිපාදනයක් ජාතික සභාව ගැන කිසිම සඳහනක් නැහැ. මෙයට කිසිදු විධායක බලයක් නැහැ. විධායක බලය තියෙන්නේ ජනාධිපතිතුමාටයි, කැබිනට් මණ්ඩලයටයි.

ජාතික සභාව ගැන කිසිදු ප්‍රතිපාදනයක් නැති වෙලාවේ සැබෑ වුවමනාවක් තිබුණා නම් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා තියෙනවා. අඩුම තරමේ ඒ ඇතුළේ මේ ජාතික සභා සංකල්පයට බලයක්, ප්‍රාණයක් දෙන්න කටයුතු කරන්න තිබුණා. ඒ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් විධියට පැහැදිලිව කියන්න තියෙන්නේ මෙය දේශපාලන කැටයමක් විතරයි.

දේශපාලන කූටෝපායක් විධියට පාවිච්චි කරන මෙය අපි ප්‍රතික්ෂේප කරනවා.”

මේක හරියට මළ මිනියක කුණු ගඳ නවත්වන්න සුදු රෙද්දකින් වහනවා වගේ වැඩක් : – තුෂාර ඉඳුනිල්

“ආණ්ඩුවේ ජාතික සභාව හරියට ගඳ ගහන මෘත ශරීරයක කුණු ගඳ ගැහීම නවත්තන්න සුදු රෙද්දකින් වහනවා වගේ වැඩක්” යැයි සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉ¾දුනිල් පැවැසීය.

“මේ පාලන ක්‍රමයට පොඩි යන්ත්‍රයක්, පිරිත් නූලක් බැඳ ගන්න ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනවා. අපි ජාතික සභාවට විරුද්ධ වන්නේ නැහැ. නමුත් මේ ජාතික සභාව දැන් කල් පැන ගිය එකක්. ප්‍රශ්න ඔඩුදුවා යන විට මෙවැනි සභාවක් ගොඩනඟමු යැයි අපි යෝජනා කළා. මේ වන විට ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. දැන් ආණ්ඩුව කියන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා ඉවරයි. ආණ්ඩුවේ තිබෙන කුණු ටික වහගන්න උඩට එළන්න හදන සුදු රෙද්දක් හැටියට මේ ජාතික සභාව භාවිත කරන්න හදනවා. මෙය හරියට ගඳ ගහන මෘත ශරීරයක කුණු ගඳ ගැහීම නවත්තන්න සුදු රෙද්දකින් වහනවා වගේ වැඩක්.

අප මීට සහයෝගය දෙන්නේ මාර්තු මාසය වෙනකන් පමණයි. දැන් පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති ජනමතයක්. ජනමතය පරීක්ෂාකර බලා අලුත් ආණ්ඩුවක් පිහිටු වන ලෙස ජනතාව ඉල්ලනවා.

ඉන්ධන පෝලිම් නැතැයි ජනාධිපතිවරයා පම්පෝරි ගහනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආවාට පසු පෝලිම් පමණක් නොව ජනතාවගේ හැම දෙයක්ම නැති කළා. දැන් ඉන්ධන ගහගන්න මිනිසුන්ට සල්ලි නැහැ. මේ ආණ්ඩුව බලයට ආවේ බුදු සසුන බැබළේවා කියාගෙන. දැන් බුදු සසුන Close කරල දාන්න හදනවා. පන්සල්වලටත් ඕනෑවට වඩා අලංකරණයට ඉඩ තබන්න එපාලු. චෛත්‍යයේ, බණ මඩුවට ආලෝකකරණ භාවිත කරනවා. බුදු සසුන බැබළේවා කියා පැමිණි අය බුදුසසුන බබළන බල්බ්වත් පත්තු කරන්න බැරි කර තිබෙනවා.

මේ රටේ ජනතාව ආනයනික විස සහල් පරිභෝජනය කරනවාද නැද්ද යන කාරණය හෙළිදරව් කරන්න. යූරියා පොහොර රුපියල් 10,000කින් අඩු කරන බව කියා රුපියල් 26,000කට එය දෙන බව කියනවා.”

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි