රටට බරක් නොවන පුරවැසියන් ගොඩනැඟිිය යුතුයි

0
162

අලුතින් හිතන තරුණ බලවේගයක් රට තුළ සිටී. ශ්‍රී ලංකාව වෙනස් කරන්නට ඔවුන්ට වුවමනාවක් ඇත. පසුගියදා ඉදිරිපත් කරන ලද අතුරු අය – වැය රාජ්‍ය සේවයේ විශ්‍රාම යා යුතු වයස නැවතත් අවුරුදු 60 දක්වා අඩු කරන තීරණයක් ගෙන ඇත. ඉදිරි වසර දෙක තුළ රජයේ හා රජය අනුබද්ධ ආයතනවල අලුත් සේවක බඳවාගැනීම් අත්හිටුවා තිබේ. මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංකෝචනය විය. මෙම වසරේ ආර්ථිකය ඝෘණ දහයකින් පහතට වැටෙන බව පුරෝකථනය වී තිබේ. අලුත් අවස්ථා අඩුවනු ඇත. එය ජාත්‍යන්තරයේ පවා දැක ගත හැකි ස්වභාවයකි.

වසංගත තත්ත්වය දරුණු පීඩනයක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිළෙනවිට තරුණ පරපුරට රැකියා අවස්ථා සීමාසහිත විය හැකිය. විරැකියා ප්‍රතිශතය එය පෙන්වන දර්ශකයකි. අලුත් තොරතුරු අනුව මෙම වසරේ පළමු කාර්තුවේ විරැකියා අනුපාතිකය සියයට 4.3කි. රටට ප්‍රශ්නයක් නැත. රැකියා හිඟය අඩු වී තිබේ. 2020 තුන්වැනි කාර්තුවේ පැවැති සියයට 5.8ක රැකියා හිඟය අභිභවා හොඳ දියුණුවක් ලබා ගෙන ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

සමාජය තුළ මෙම ඉලක්කම් තහවුරු නොවේ. ජනී ජනයා රස්සා සොයමින් සිටිති. වෙනදා තිබුණ ආදායම් මාර්ග ඇහිරී ඇත. ඉදිකිරීම් කර්මාන්තයෙහි විශාල කඩාවැටීමක් තිබේ. ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල එයට බලපා ඇති බව රජය පිළිගනී. එක පැත්තකින් විරැකියාවය. අනෙක් පැත්තෙන් ජීවන වියදම ප්‍රශ්නයකි. බස් ගාස්තුව, ආහාර පිරිවැය, බෙහෙත් හේත්වලට වියදම දරාගත නොහැකිය. රැකියා හිඟය අඩු බව ඉලක්කම්වලින් පෙන්වන්නේ කෙසේද?

ජනගහනයෙන් තුනෙන් එකක් අක්‍රියව සිටී

රටක් ගොඩනඟන්නට වැඩ කරන්නට අවශ්‍යය. ශ්‍රම

බළකාය උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතුය. වාර්තා දක්වන පරිදි මිලියන 8.8ක් ආර්ථික අක්‍රිය භාවයෙහි පසුවෙති. යමක් කරන්නට හැකි පිරිස කිසිම ආර්ථික ශක්‍යතාවක පසු නොවීම සංවර්ධනයේදී ගැටලුවකි. මහා පරිමාණ ආයෝජන, විදේශ සහයෝගය, ආර්ථික ප්‍රතිසංස්කරණ වැනි බර වචන භාවිත කරන ප්‍රතිපත්ති සම්පාදකයෝ රට අභ්‍යන්තරයෙහි සිදුවන හානිය සලකා නොබැලීම ප්‍රශ්නයකි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ මුල් කාර්තුවේ විරැකියාව සම්බන්ධ සමීක්ෂණය හෙළි කරන පරිදි ජනගහනයෙන් වයස අවුරුදු 15 වැඩි යම් ආර්ථික උත්පාදන ක්‍රියාවලියක නිරත විය හැකි පිරිසෙන් සැලකිය යුතු පිරිසක් පිළිගත හැකි කාර්යයක නිරත නොවෙති. කාන්තාවන් අතරින් සියයට 73.4ක් හා පිරිමින්ගෙන් සියයට 26.6ක් “ඉකොනොමිකලි ඉනැක්ටිව්” යනුවෙන් සඳහන්ය. ආර්ථිකය නඟාසිටුවනු සඳහා යෝජනා කරන පිරිස මෙම කණ්ඩායම සහභාගි කරගැනීම ගැන අලුතින් කල්පනා කළ යුතුය. මිලියන අටක් ඉක්මවන ජන කොටසකගේ ශ්‍රමය අත් හැර දමන්නේ ඇයි? මෙම ජන කොටසද හොඳ මූලික අධ්‍යාපනයක් ලබා ඇත.

නිදහස් අධ්‍යාපනය ගැන විවිධ විවේචන පවතින නමුත් ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය සුළු පටු නොවේ. සාමාන්‍ය අධ්‍යාපනයක් සහිතව සමාජයට පිවිසෙන පිරිසට වෘත්තීය අවස්ථා නැත. ආදායමක් උපයන මාවත අවහිර වී තිබේ. විරැකියාව සම්බන්ධ රජයේ ඉලක්කම් එය අනාවරණය කරයි. ශ්‍රම බළකාය වශයෙන් ඉදිරියට එන පිරිසගේ ශක්තිය නිසි ප්‍රයෝජනයට නොගැනීම අවාසියකි.

විරැකියාව ගැන ගණන් බලන ආකාරයේද ගැටලු

ජනගහනයෙන් කොටසක් ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත නැති බව කියන අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විරැකියාව පහත වැටී ඇති බව කියයි. එවැනි ගණන් බැලීමකට යන්නේ ඉතා සරල උපකල්පන අනුව බව පෙනේ. දෙපාර්තමේන්තුව පර්යේෂණය කරන මාසයේ අන්තිම සතියේ අඩුම තරමින් සතියකට පැයක් ආදායම් උපයන කාර්යයක නිරත වේ නම් ඔහු රැකියාවක් කරන කෙනෙකි. තමන්ගේ නිවෙසේ ඇති ව්‍යවසායයක පැයක් වැඩ කළොත් ප්‍රමාණවත්ය. ගොවිපොළක, වෙළෙඳසලක පවුලට උපකාරයක් වශයෙන් පැයක් වැඩ කරන තරුණයකු රැකියාවක් කරන කෙනකු සේ අර්ථ දක්වන ආණ්ඩුව රැකියා හිඟයක් නැති බව කියා සිටීම අවධානයට ලක් විය යුතු පැත්තකි.

ශ්‍රී ලංකාව කැරලි, අරගලවලින් පීඩාවට පත් රටකි. උසස් අධ්‍යාපනය ලබා නිවෙස්වලට වී සිටින පිරිස විශාලය. තරුණයන් ලක්ෂ තුනක් ත්‍රීවීලර් ස්වයං රැකියාවක් කරගෙන ඇත. තමන්ගේ අනාගතය වෙනත් රටකට පැන ගැනීම බව හිතන පිරිස නොඅඩුය. එවැනි සමාජ ක්‍රමයක් තිබියදී රටේ විරැකියාව පාලනය වී ඇති බව දක්වන්නට අනුගමනය කරන ක්‍රමය ඉතා භයානකය. ආණ්ඩුව මෙම ඉලක්කම්වලින් නොමඟ යැවේ. ප්‍රතිපත්ති හදන නිලධාරීහු රටේ ප්‍රශ්න නැති බව කල්පනා කරයි. රටට ආධාර කරන හෝ සංවර්ධන උපදෙස් දෙන බහු පාර්ශ්වීය සංවිධාන ශ්‍රී ලංකාව රස්සා හිඟයක් නැති සංවර්ධිත රටක් බව උපකල්පනය කරයි. එහෙත් රට අභ්‍යන්තරය උණුසුම්ය. තරුණයෝ අරගල කරති. මෙම කැරලි මර්දනය කෙරේ.

රස්සාවක් නැති දෙනෝදාහක් දෙනාගේ ප්‍රශ්න අහන්නට කෙනකු නැත. ජනතාව නියෝජනය කරන මැති ඇමැතිවරු දුරස්ථය. පළාත් සභා ක්‍රමය අකර්මණ්‍ය වී තිබේ. පළාත් පාලන ආයතන අඩපණ වී ඇත. රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන බංකොලොත්ය. පෞද්ගලික අංශය පවා පවතින ආර්ථික ප්‍රශ්න මැද ඉතාම නරක කාලයක් ගත කරමින් සිටී. රට ගොඩනැඟීම සඳහා ශ්‍රමය හා ශ්‍රම භාවිතය ගැන අලුත් දැක්මක් අවශ්‍යය.

පසුගිය ආණ්ඩුව රැකියා හිඟයට තාවකාලික උත්තර සපයන ලද බව මතක් කළ යුතුය. ඉතාම අඩු ආදායමක් ලබන පවුල්වලින් තෝරා ගත් ලක්ෂයක පිරිසක් රජයට බඳවා ගෙන ඇත. තෝරා ගත් වෘත්තීන්ට පුහුණු කර තාවකාලික රැකියාවලට බඳවා ගත් බව ප්‍රකාශ කළ අතර පවුල්වල දුප්පත්කම නැති කරන පියවරක් සේ යෝජනා කළේය. කොවිඩ්  වසංගත කාලයේදී උපාධිධරයන් තිස් දහසකටද රජයේ රැකියා සඳහා පත්වීම් ලිපි නිකුත් කර තිබේ. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ආණ්ඩුවේ ආයතන රස්සා සපයන ස්ථාන බවට හරවාගෙන ඇත. දැනටමත් රජයේ සේවය කරන පිරිස ලක්ෂ දහතුන ඉක්මවයි. මහා භාණ්ඩාගාරයේ තොරතුරුවලට අනුව එය ලක්ෂ පහළොව දක්වා නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂික ආදායමෙන් සියයට 83 වැය වන බවද පෙන්වාදිය යුතුය. මහජනතාවට පටවන බදුවලින් හෝ මොනයම් ආකාරයකින් රුපියලක් උපයන විට ශත අසූ තුනක් වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරයි. මෙම තත්ත්වය රටට නරක දසාවකි. එක පැත්තකික් රස්සා හිඟයක් නැති බව පෙන්වා ආර්ථිකය ගොඩනඟන උත්සාහය ප්‍රමාද කරන අතර අනෙක් පැත්තෙන් රජයේ රැකියාවලට බඳවාගෙන මහජනතාවගේ බදු වැටුප්වලට යොදවමින් සිටී.

මෙම අවිධිමත් රාමුව වෙනස් කිරීම සඳහා පෞද්ගලික අංශයේ අවස්ථා ප්‍රසාරණය කළ හැකිය. ව්‍යවසායකත්වයට ඉඩ දීම තවත් හොඳ විකල්පයකි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය වර්ධනය වෙමින් තිබේ. මෑත කාලය තුළ ආර්ථික වේගය අඩාල වන පසුබිම තුළ පැවැත්ම තර්ජනයකය. නිෂ්පාදන, සේවා හා අලෙවි අංශවල පිරිහීමක් තිබේ. ඒවායේ නිරතව සිටි පිරිසට අවස්ථා අහිමි වී ඇත. කොවිඩ්  වසංගත තත්ත්වය හෙයින් පෞද්ගලික අංශයේ ආයතන සෑහෙන ප්‍රමාණයක් වසා දමා ඇත.

වෙළෙඳසල්, ව්‍යාපාරික ස්ථාන වසා ඒවායේ කටයුතු කරගත නොහැකි තැනට පත්ව ඇති බව සඳහන් කළ යුතු කරුණකි. මෙම පැති ගැන අධ්‍යයනය කර ඉක්මන් ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ව්‍යාපාර හා ආයෝජනවලට හිතකර ප්‍රතිපත්ති හ¾දුන්වා දිය යුතු අතර එයින් අලුත් අවස්ථා ඇති වෙයි. 2023 වසර සඳහා අය – වැය ඉදිරිපත්වන විට බාධා ඉවත් කරන හා අලුත් ආර්ථිකයක් හැදෙන යෝජනා ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂාවයි.

අපනයනය ඉලක්ක කරගත් අවස්ථා

ශ්‍රී ලංකාවට අවශ්‍ය ‘ශ්‍රමය’ යොදවන ක්ෂේත්‍රය. ‘ශ්‍රමය’ යෙදවිය යුතු සුළු කර්මාන්ත හා ව්‍යාපාරවලට පමණක් නොවේ. අපනයනය ඉලක්කය විය යුතුය. මෑත වසරක කාලය තුළ මෙරට අපනයන වර්ධනයක් සිදුවිය. එයට හේතුව විනිමය අවප්‍රසාරණය වීම බව සඳහන් කළ යුතු කරුණකි. මෙරටින් අපනයනය කරන ද්‍රව්‍යවල මිල අඩුවන විට ඉල්ලුම වැඩිවේ. අපනයනය කළ හැකි අංශ තෝරා ශ්‍රමය ඒ සඳහා යොදවන විශේෂ පිළිවෙළක් රටට අවශ්‍යය. වාර්තා දක්වන පරිදි රටට අවශ්‍ය ඉන්ධන ආනයනයට පවා විනිමය නැත. රටට ගෙන්වන ලද ඉන්ධනවලට මුදල් ගෙවාගත නොහැකි හේතුවෙන් නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවීමටද සිදුවන බව අනාවරණය වේ. ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු රස්සා හිඟය අඩු වී ඇති රටක් බව පෙන්වීම නොව රටට විනිමය උපයන්නට කැපවන තරුණ පෙළක් සිටින රටක් වශයෙනි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දක්වන පරිදි ආර්ථික වශයෙන් නොයෙදී සිටින ජනගහනයෙන් සියයට 30.9ක් වතු ආශ්‍රිතව වන අතර සියයට 27.4ක් නාගරික බව දැක්වේ. වතු හා නගර ආශ්‍රිතව වෙසෙන මෙම කණ්ඩායම ගැන පුළුල්

සමීක්ෂණයක් කළ යුතු අතර මෙම පිරිස මුහුණදෙන ප්‍රශ්න ඉතා සංකීර්ණ ඒවා බව නොරහසකි. ඔවුන්ට ඉඩම් නැත. නිසි පරිදි නිරතවිය හැකි අංශ සීමිතය. දවස ගත කරන්නේ සමාජ මාධ්‍ය ජාලාවල බව සැක කළ හැකිය. මෙම ආර්ථික වශයෙන් නිරත නොවන පිරිස කාන්තාවන් සහ තරුණයන් බව පෙනේ. රජයට පමණක් නොව රාජ්‍ය නොවන ආයතනවලටද මෙම කණ්ඩායම කෙරෙහි අලුත් අවධානයක් යොමු කරන්නට අවශ්‍යය.

තාක්ෂණ විප්ලවයේ දිග පළල ගැනද සැලැස්මක් 

ජාත්‍යන්තර ප්‍රජාව තාක්ෂණය සම්බන්ධයෙන් සෑහෙන ඉදිරි පිම්මක් පැන ඇත. හතරවැනි කර්මාන්ත විප්ලවයක් ගැන සාකච්ඡා කරමින් සිටී. තොරතුරු හුවමාරුව පස්වැනි පරම්පරාවේ සන්නිවේදනයට අවතීර්ණ වී ඇත. අනාගතයේදී ඇතැම් රැකී රක්ෂා හා කර්මාන්ත යල් පැන ගිය ඒවා බවට පත්වෙයි. සේවා අංශය පුළුල් කරන්නට තාක්ෂණය අවස්ථා සම්පාදනය කරයි. අලුත් වාර්තා අනුව රජයේ සේවකයන් පවා කලින් විශ්‍රාම යවන අතර එය මෙරට විරැකියාව නොපෙන්වන නමුත් වැඩ කළ හැකි ජන කොටසක් යැපෙන මට්ටමට පත් කිරීමකි. වේගයෙන් දියුණුවන රටක් බවට හැරවීම සඳහා සෑම පුද්ගලයකුම

නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරගත යුතුය. සේවා අංශයෙන් අවස්ථා අත්පත් කරගත හැකිය. තාක්ෂණය දැනගෙන, භාෂාව අවබෝධ කරගෙන සිටින ජන කොටස අන්තර්ජාල සේවා සැපයුම් වැනි අංශවලට යොමු කරන අලුත් ව්‍යවසාය රට තුළ ඇති කිරීමට ඉඩකඩ තිබේ. අනාගතයේදී ප්‍රසාරණය වන අංශ අනුව මෙරට මානව සම්පත සංවර්ධනය කිරීමට වගබලාගත යුතුව ඇත.

ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ ගණන් බැලීම අනුව අනාගත රැකීරක්ෂා සම්බන්ධ වාර්තාවක් 2018 වසරේදී නිකුත් වී තිබේ. එහි දක්වන පරිදි ඉදිරි වසර දෙක ඇතුළත ලෝකය පුරා දැනට කරගෙන යන අංශවල රැකීරක්ෂා මිලියන 75ක් අහෝසි වනු ඇත. කරමින් සිටින රස්සාව වලංගු නැතිවන සමාජයක් අනාගතයේදී බිහිවෙයි. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව තාක්ෂණයට ඇතුළුවනු ඇති අතර එහිදී ඇති විය හැකි ප්‍රශ්න ගැන  අවබෝධයක් අවශ්‍යය.

මෙම වාර්තාවම කියන පරිදි තාක්ෂණය විසින් අලුත් ආකාරයේ රැකියා අවස්ථා මිලියන 130ක් ලෝකය පුරා බිහි කරනු ඇත. මේවා මොනවා විය හැකි දැයි සොයන්නට අපට වගකීමක් තිබේ. විරැකියාව ගැන අලුත් අවධානයක් හා අලුතින් බිහිවන වෘත්තීය අංශ ගැන මනා සොයාබැලීමක් නොකළහොත් රටට පුනර්ජීවනයක් ඇති නොවේ.

ශාමින්ද වත්තේගෙදර