යල්පැන ගිය ශ්‍රී  ලංකා පාපන්දු ව්‍යවස්ථාවට ජාත්‍යන්තරයෙන් විරෝධය

0
36

35 වසරක කාලයක් තුළ සංශෝධනයක් සිදු කර නොමැති ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කිරීම කෙරෙහි ශ්‍රී  ලංකා පාපන්දු බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එසේම බලතල බෙදන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මහා සභාවේ තුනෙන් දෙකක බහුතර බලයක් දැනටමත් පවතින බව මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කර තිබේ.

එසේම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කිහිප වරක්ම

ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට දැනුම් දී තිබුණද එසේ සංශෝධනයක් මෙතෙක් සිදුව නොමැති බවත් එහි දක්වා තිබිණි. එවන් පසුබිමක් තුළ තමන් කඩිනමින් එම ව්‍යවස්ථාව ජත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිර්දේශයන්ට අනුකූලව සහ ශ්‍රී  ලංකාවට ගැළපෙන අයුරින් සංශෝධන කිරීමට කටයුතු කරන බවද ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

කෙසේ වෙතත් අවසන් වරට ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව 2002 වසරේදී සුළු සංශෝධනයකට බඳුන් කර ඇති බවද සඳහන්ය. එසේ වුවද නැවත වරක් 2014 වසරේදී එම ව්‍යවස්ථාව ද සංශෝධනය කරන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනය වෙත දැනුම්දී තිබුණද එසේ සංශෝධනයක් සිදු කර නොමැති බවද සඳහන්ය.

එවකට පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කර තිබුණේ රංජිත් රොද්‍රිගු මහතා වන අතර, අනුර ද සිල්වා මහතා සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදීද මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දී තිබුණද එවන සංශෝධනයක් සිදුකර නොමැති බවද එම නිවේදනයේ දැක්වේ.

2021 වසරේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන ලෙස අවධාරණය කර තිබේ. එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර එහි පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත සහ සියලුම සාමාජික සාමාජිකාවන් වෙත මෙම වසරේ මැයි මාසයේදී යවා අවසන් කර ඇති බවද දැනගන්නට ඇත.

එසේම මෙම නව ව්‍යවස්ථාව මගින් ස්වාධීන මූල්‍ය පරිපාලනය, ස්වාධීන නිවරණ ක්‍රමය, ස්වාධීන විනය කමිටු ඇතුළු පැහැදිලිවම බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇති කර තිබෙන බවද ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා නිකුත් කර තිබූ නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

තවද මේ වන විටත් ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදේශනය හා

නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයකු ශ්‍රී  ලංකාවට පැමිණ ඇති බවද එම නිවේදනයේ අවසන් වශයෙන් දක්වා තිබේ.

ගමිත දෙහිපිටිය