මෝටර් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී තිදෙනෙක් රෝහලේ

0
6

අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් ඉදිරිපසින් පැමිණි ලොරියක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර ඇත.

දිවුලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩී. දේවප්‍රිය මහතා පැවැසූ පරිදි රිය අනතුර වී ඇත්තේ 19 දින රාත්‍රි ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණියාය කොටසේ කිලෝමීටර් 23-24 කණු අතර ස්ථානයකදීය.

මෝටර් රථය මහියංගණයේ සිට දෙහිඅත්තකණ්්ඩිය දෙසට ධාවනය කරමින් තිබියදී වෙළෙඳ බඩු බෙදාහරින ලොරි රථය පැමිණ ඇත්තේ ඊට විරුද්ධ දෙසිනි. මෝටර් රථය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අයකුට අයත් වේ. ලොරි රථය මහනුවර ප්‍රදේශයේ අයකුට අයත් බව හෙළි වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ තිදෙනකු සිට ඇත. ලොරියේ සිට ඇත්තේ රියැදුරා පමණි.

කාර් රථය අධික වේගයෙන් පදවා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත. රථය තුළ සිටි තිදෙනාටම තුවාල වී ඇත. ඔවුන් ප්‍රතිකාර සඳහා ගිරාඳුරුකෝට්ටේ දිසා රෝහලට ඇතුළත් කර ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා  මහියංගණය මූලික රෝහලට යවා තිබේ.

රියැදුරාගේ තත්ත්වය බරපතළ බැවින්  ඔහු බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත. මෝටර් රථයට  දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇත. ලොරි රථයේ රියැදුරාට  සුළු තුවාල වී ඇත. දිවුලපැලැස්ස පොලිසියේ ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් පොලිස් පරීක්ෂණ කෙරෙමින් පවතී.

ගිරාඳුරුකෝට්ටේ – එස්.පී. හේරත්