මහවැලි ගඟෙන් බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමූ දෙදෙනකුට 1,10,000ක් දඩ

0
11

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ කටුවන්විල ප්‍රදේශයේ මහවැලි ගඟෙන් බලපත්‍ර නොමැතිව, නීතිවිරෝධී අයුරින් වැලි ගොඩදැමූ පුද්ගලයන් දෙදෙනකු මනම්පිටිය වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන 20 වැනිදා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට රුපියල් 55,000 බැගින් රුපියල් 1,10,000ක දඩ මුදලක් ගෙවන ලෙසට පොළොන්නරුව අතිරික්ත, අතිරේක මහෙස්ත්‍රාත් එම්.එම්.එෆ්. මින්හා මහත්මිය නියෝග කළාය.

පොළොන්නරුව අඩවි ආරක්ෂක පී.ඩී. සුනිල් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි, වන සත්ත්ව අඩවි සහකාරවරුන් වන එස්.ඒ. වික්‍රමරත්න, එන්.බී.ඒ.එස්. නාලක, එම්.ආර්. ප්‍රිදර්ශන, වන සත්ත්ව නියාමක එන්. උමාසුදන්, ඩී.එම්. ආර්. දිසානායක, එච්.ඒ.එස්. සේනාරත්න යන ක්‍ෂේත්‍ර  නිලධාරීවරුන් මෙන්ම සිවිල් ආරක්ෂක එම්.ඩී. චතුරංග, ඩබ්ලිව්. ගුණසිරි යන මහත්වරු වැටලීම් කර සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.

වරද පිළිගත් සැකකරුවන් වැලිකන්ද කටුවන්විල අයවේ. ඔවුන් රාත්‍රි කාලයේ මහවැලි ගඟට ට්‍රැක්ටර් බස්සවා නීති විරෝධී අයුරින් ගොඩදමන වැලි ප්‍රදේශයට අලෙවි කරන බවත්, සැකකරුවන් සතුව තිබූ වැලි සහ සවල් රාජසන්තක කිරීමට පියවර ගත් බවද මනම්පිටිය වන සත්ත්ව අඩවි සහකාර එන්.බී.ඒ.එස්. නාලක මහතා අප කළ විමසීමකදී පැවැසීය.

මනම්පිටිය _ නිමල් ජයරත්න