මත්පැන් සමඟ යාපනයේ කඩු කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට

0
30

යාපනය අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් සමඟ කඩු 3ක් සඟවාගෙන සිටි පුද්ගලයකු යාපනය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ කළ වැටලීමකදී නිවෙසක් තුළ සූක්ෂ්මව සඟවා තිබූ මත්පැන් හා කඩු තොගය සොයාගනු ලැබීය.

තියුණු කඩු 03ක් සමඟින් ගෝඩා ලීටර් 50ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 08ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ තොගයක්ද පොලිසිය සොයාගනු ලැබීය.

සොයාගන්නා ලද කඩු යාපනයේ වූ පුද්ගල පහරදීම් සඳහා සම්බන්ධයක් ඇතැයි හා සැකකරු යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලි සමඟ සම්බන්ධයක් ඇත්දැයි යන්න පිළිබඳව සැකයක් පවතින බැවින් පරීක්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලිසිය පැවැසීය.

සැකකරු අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මුලතිව් – ශෂි කුමාර්