පොතක් පතක් කියවන බිස්නස්කාරයෙක් වෙමු

0
11

මේ ගතවෙන්නේ සාහිත්‍ය මාසයයි. බුක්ෆෙයා එකත් මේ දිනවල ක්‍රියාත්මක වෙන නිසා බොහොමයක් දෙනා ලහිලහියේ තමන් කැමැති පොතපත ගන්න ඒ පැත්තට යනවා. එක පැත්තකින් ඒක හොඳ ප්‍රවණතාවක්. මොකද  මේ වෙලාවක පොත් කියවන්න පෙලඹෙනවා කියන්නෙම ඒක තමන්ගේ මයින්ඩ් සෙට් එක හදාගන්න හොඳ අවකාශයක්. ක්‍රයිසි එක නිසා බිස්නස් නෑ, ප්‍රොෆිට් නෑ. ඉන්කම් නෑ, ක්‍රයිසි එක නිසා කරන්න හිටපු වැඩ කරන්න බෑ වගේ ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩ තමයි මේ දවස්වල ඕනෑ තරම් රටේ හැමතැනකින්ම වගේ ඇහෙන්නේ. අර්බුදයෙන් මිනිස්සු භෞතිකව මිය නොගියාට එහි බලපෑමෙන් රටේ ව්‍යවසායකයන්ගේ විශ්වාසයන් හා උත්සාහයන් මියයමින් තිබෙනවා. බහුජාතික සමාගම් පවා මේ අර්බුදකාරී කාලසීමාව තුළ පොළොවට සමතලා වෙනවා.

පුද්ගලයන් රැසකට තමන්ගේ රැකියා අහිමි වෙනවා. ආදායම් මාර්ග අඩාල වෙනවා, ආයෝජන කටයුතු, දෛනික ගනුදෙනු යන සියල්ල අවාසනාවන්ත ලෙස ඇනහිටිනවා. රටේ බොහොමයක් ව්‍යාපාරිකයො, ව්‍යවසායකයො, ආයෝජකයො, වගේම සමස්ත ආර්ථික යාන්ත්‍රණයට අදාළ සියලු පාර්ශ්ව අනාගතය සම්බන්ධව අපේක්ෂා භංගත්වයට පත්ව බලා සිටිනවා. රටේ ව්‍යවසායකයන්ගෙන් වැඩි පිරිසක්, ව්‍යවසායකයන් වීමට සිහින දකින අයගෙන් වැඩි පිරිසක් කළ යුත්තේ කුමක්ද කියා පවා අවබෝධයක් නැතිව කරන්නට දේවල් හොයනවා. කරන්න දේවල් විමසීමට ලක් කරනවා. ඉතින් මම කියන්නේ මෙහෙම වෙලාවක බුක්ෆෙයා කියන්නේ තමන්ගෙ මයින්ඩ් එක බූස්ට් කරගන්න ඔය කියපු සියලු පාර්ශ්වවලට ලැබෙන හොඳ අවස්ථාවක්.

ඉතින් මේ සාහිත්‍යමය උණුසුමත් එක්ක හරියට පොතක් තෝරගන්නේ කොහොමද, හරියට පොතක් කියවන්නේ කොහොමද වගේම පොතක තියෙන දෙයක් තමන්ගේ පෞද්ගලික හා ව්‍යාපාරික සාර්ථකත්වයට හරියට භාවිත කරන්නේ කොහොමද කියලා මම ව්‍යාපාරිකයන්ට ලියන්න හිතුවා. වෙනස් ක්‍රමවේදයකින් මේ මාසයේ ඉඳලා කියවීම අලුතෙන් පටන්ගන්න පොඩි තල්ලුවක් ලබාදෙන්න හිතුවා.

A month of books

පොත් කියවන්න මාසයක් කරගන්න, ඔබටම අභියෝගයක් දෙන්න

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් 2015 වසර ආරම්භයේදී  එම වසර ‘A year of books’ ලෙස නම් කරනවා. ඔහු තමන්ට වගේම මිලියන ගණනක් වූ ෆේස්බුක් පරිශීලකයන්ට සෑම දෙසතිකටම එක පොතක් කියවා අවසන් කිරීමේ අභියෝගයක් ගෙන එනවා. වසරකට පොත් විසිහතරක් කියවා අවසන් කිරීමේ ඒ විශාල අභියෝගයේදී ඔහු කියවන්න කියලා නිර්දේශ කරන්නේ සරල සාමාන්‍ය මට්ටමේ නවකතා, කෙටිකතා හෝ වෙනත් කතන්දර පොත් නෙමෙයි. ව්‍යාපාර, ආගම, ඇදහිලි, විශ්වාස, සංස්කෘතීන් ගැන ලියැවුණු ලොව හොඳම විචාරාත්මක කෘතීන් කියවා අවසන් කරන ලෙස ඔහු අභියෝග කරනවා. ඔහු තමන්ටම අභියෝග කරගන්නවා. ඔහුගේ අභියෝගයේ ප්‍රායෝගික බව සහ ඔහු 2015 වසර සාර්ථකත්වය සඳහා මෙහෙයවූ ආකාරය ‘A year of books’ ෆේස්බුක් පිටුවට ගියාම ඔබට දැකගන්න පුළුවන්.

මේ මොහොතේ සියලු දෙනා මානසික වශයෙන් අවපාතකයට ලක්ව සිටින මොහොතක, කාර්යාල සහ රාජකාරි කටයුතුවලින් හෙම්බත් වී සිටින මොහොතක දින 3කට එක පොතක් කියවා අවසන් කිරීමේ අභියෝගය ඔබ විසින් ඔබටම ඉදිරිපත් කරගන්න පුළුවන්. එහිදී ඉදිරි මාසයක කාලය තුළ ලොව විශිෂ්ටතම ව්‍යාපාරික කෘතීන් 10කින් හැකි ගණනක් කියවා අවසන් කළ යුතු වෙනවා.  Rich dad poor dad, Secret, Unlimited power, Loosing my virginity, Entrepreneur mind, How to win friends and influence people, Steve Jobs, The power of now වැනි ව්‍යවසායකයෙක් අනිවාර්යයෙන් කියවා අවසන් කළ යුතු පොත් මේ සඳහා ඔබට භාවිත කරන්න පුළුවන්. පොත් ඔබ ළඟ නැත්නම් PDF ලබාගත හැකි ක්‍රමයක් ගැන අවධානය දෙන්න පුළුවන්. ව්‍යවසායකත්වය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය වැනි ඕනෑම ක්ෂේත්‍රයකට අදාළ කෘති මෙහිදී පරිශීලනය කරන්න පුළුවන්. සැඟවුණු දැනුමක් හොයාගෙන යන්න පුළුවන්.

Read to lead කියන තීරණාත්මක කාරණාව ව්‍යවසායකයකුට කොහොමත් 100%ක් අදාළයි. අනාගත ව්‍යාපාර සංග්‍රාමයන්ට සාර්ථකව මුහුණ දෙන්න නම් හාවඩ් සරසවියේවත් උගන්වන්නේ නැති ප්‍රායෝගික ව්‍යාපාරික පාඩම් පොතපත පරිශීලනයෙන් ඉගෙනීම අනිවාර්යයි. පොත් කියවීම ව්‍යවසායකයකුට කොතරම් වැදගත්ද කියන කාරණය හරියටම දැනගන්න නම් ඔබට Tai Lopezගේ පිටුවට පිවිසෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යවසායක ගමන වෙනුවෙන් දිනකට එක පොතක් කියවා අවසන් කිරීම ඔහුගේ අනිවාර්ය කාර්යභාරයක්. ඔබට තවත් ධනාත්මක හා ව්‍යාපාරික පොත් සම්බන්ධව තොරතුරු විමසන්න අවශ්‍ය නම් මගේ පෞද්ගලික ඊමේල් ගිණුමට පණිවුඩයක් යොමු කරන්න පුළුවන්. නැත්නම් මගේ ෆේස්බුක් පිටුවට පණිවුඩයක් යොමු කරන්න පුළුවන්.

A dare to read in english

සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් කියවන්න

පොත් කියවන්න කැමැති වුණාට ඉංග්‍රීසි පොත් කියවන්න බැහැ කියන එක බොහොමයක් නවක ව්‍යවසායකයන්ගෙන් නැඟෙන මැසිවිල්ලක්. සිංහල අනුවාදයන්, පරිවර්තනයන් නිතරම සොයාගෙන කියවන්න හදන එක ඔවුන්ගේ පුරුද්දක්. ලොව පුරා ලියවී ඇති කෘතීන් බිලියන ගණනක් තුළ ව්‍යාපාර සහ පුද්ගල සංවර්ධනය සම්බන්ධ කෘති තිබෙන්නේ ඉතාම අල්පවශයෙන් කියන දේ ප්‍රසිද්ධ කාරණාවක්. එහෙම බැලුවම සිංහල බසින් ලියවුණු සාර්ථක මට්ටමේ ව්‍යාපාර හා පුද්ගල සංවර්ධන කෘතීන් තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් කියලා කියන්න පුළුවන්. ව්‍යවසායකයකුට කියවීම අත්‍යවශ්‍ය සාධකයක් වෙද්දිත් පොත් දහයක් කියවලා ඔහුට ව්‍යාපාරයක් සාර්ථක මට්ටමට මෙහෙයවන්න පුළුවන් කියන එක විහිළුවක්. ඒ නිසා ඔහු අනිවාර්යයෙන් ඉංග්‍රීසි පොතපත කෙරෙහි තමන්ගේ අවධානය දිය යුතුයි. සැලිකිලිමත් විය යුතු අනෙක් වැදගත්ම දේ වෙන්නේ මෙරට පරිවර්තන කෘතීන් වගේම අනුවාදයන්වල ඵලදායීතාව දුර්වල මට්ටමක තිබීම.

ව්‍යාපාර සම්බන්ධ සිංහල පරිවර්තනවල බොහෝ අත්‍යවශ්‍ය කරුණු මඟහැරී තිබීම. අනවශ්‍ය, වැරදි කරුණු පරිවර්තනයේදී පොත්වලට එකතු වී තිබීම. ඒ නිසා පුද්ගල සංවර්ධනය හෝ ව්‍යාපාර සම්බන්ධ පොතක් කියවද්දි ඉංග්‍රීසි පොතක් කියවීම වඩා සාර්ථකයි. කියවා තේරුම් ගැනීම දුර්වල මට්ටමක ඉංග්‍රීසි දැනුම තියෙන ව්‍යවසායකයෙක්ට කියවන්න කලින් ඉංග්‍රීසි කියවන දැනුම වැඩිදියුණු කිරීම කෙරෙහි ඉලක්කගත වීම වඩා ප්‍රායෝගිකයි. විචාරාත්මක මට්ටමේ ඉංග්‍රීසි පොතපත කියවන තැන සඳහා එන්න English comics books කියවීමෙන් ඔබට සාර්ථක ප්‍රවේශයක් ගන්න පුළුවන්. එය ලොව පුරා පිළිගැනෙන අති සාර්ථක ඉගෙනුම් ක්‍රමයක්. ඒ වගේම අන්තර්ජාල ඉගෙනුම භාවිත කරලා ඉදිරි මාසයක කාලය ඉංග්‍රීසි කියවීමේ දැනුම වැඩිදියුණු කරගන්න ඔබට පුළුවන්. එය ඔබටම අභියෝගයක් කරගන්න පුළුවන්.

ඉංග්‍රීසි ව්‍යාපාරික කෘති පරිශීලනය කරද්දි ක්ෂේත්‍ර වචන එහෙම නැත්නම් ‘Jargons’ දැනගෙන ඉන්න එකත් අනිවාර්ය කාරණාවක්. ව්‍යාපාරික ශබ්දකෝෂයක් පරිශීලනය කරලා දවසට ක්ෂේත්‍ර වචන 10ක් ඉගෙන ගත්තොත් ඔබට මාසයක් අවසානයේ වචන 300ක් දැනගෙන ඉන්න එක අමාරු වෙන එකක් නැහැ.

 ව්‍යාපාරිකයෝ කියවන්න ඕන බිස්නස් පොත් විතරක් නෙමෙයි.

මත්ද්‍රව්‍ය විකුණන කෙනා මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඒ කතාව ව්‍යාපාරික ලෝකයේ සුල්තාන් කෙනෙක් වෙන සකර්බර්ග්ටත් ඒ විදිහටම අදාළයි. Facebook සමාජ ජාලය ඔහු විසින් නිර්මාණය කළත් ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත Facebook පරිශීලකයන්ට සාපේක්ෂව ඔහුගේ Facebook භාවිතය සීමාසහිතයි. ගොඩක් වෙලාවට Facebook විතරක් නෙමෙයි ජංගම දුරකථනය පරිශීලනයත් සීමාසහිතයි.

සකර්බර්ග් බොහෝ සේ පොත් කියවන්න ඇබ්බැහිවුණ කෙනෙක්. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුල්තාන් කෙනෙක් වුණාට ව්‍යාපාරික පොත පතේම විතරක් හිරවෙන්නෙත් නැතිව විවිධ මාදිලියේ පොතපත පරිශීලනය කරන්නෙක්. කලාව, ආගම, දේශපාලනය, දර්ශනය ආදී විවිධ ක්ෂේත්‍රයන් පොත් ඔස්සේ විමසීමට ලක්කරන්නෙක්. ගොඩක් වෙලාවට අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව පොතපත භාවිත කරනවා දකින්නට ලැබීම හරිම දුලබ දෙයක්. පොතක් පතක් කියෙව්වත් ජනප්‍රිය පන්නයේ බිස්නස් පොතකටම සීමාසහිත වෙනවා මිසක් රටේ ව්‍යාපාරිකයෙක් දර්ශනය, ආගම, කලාව, දේශපාලනය වගේ පොතක් කියවනවා දකින්න ලැබීම අහම්බයක්.

ව්‍යාපාර කරන කෙනෙක්ට ව්‍යාපාර ඇරුණම දේශපාලනය, ආගම, කලාව, දර්ශනය වගේ දේවල් මොකටද කියලා ලිපිය කියවගෙන යද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් සැබෑ කරුණ නම් ව්‍යාපාරිකයකුගේ චින්තන රටාව වර්ධනය වෙන්න, දර්ශන පථය විශාල වෙන්න, අන්තර්ගතය (capacity) විශාල වෙන්න කලාව, ආගම, දර්ශනය, දේශපාලනය වැනි විචාරාත්මක ක්ෂේත්‍රවල පොතපත කියවීමත් අතිශය වැදගත්.

සකර්බර්ග්ගේ පොතපත කියවීමේ පුරුද්ද, ඔහු විවේකයේදී තමන්ගේ කාලය ගෙවා දමන්න කරන විනෝදාංශයක් පමණක් නොවන බවත් කිව යුතුමයි. මම කලිනුත් කිව්වා වගේ 2015 වසර පවා ඔහු සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ පොත් කියවන්න. ‘A year of books’ වශයෙන් 2015 වසර නිර්වචනය කළ ඔහු ඒ වසර තුළදී තමන්ටම ඉලක්කයක් ලබාදෙමින් සෑම සති දෙකකටම වරක් ලොව හොඳම පොතක් කියවා අවසන් කරන්නත් සමත්වෙනවා.

ඉතින් මේ සාහිත්‍ය මාසයේ ඉඳන්වත් කියවන්න පටන් ගන්න. අඥචඤ කරන අයට තමයි Lead කරන්න පුළුවන් කියලා ව්‍යවසායකයෙක් විදිහට මතකයේ තියාගන්න.