පේරාදෙණියේ නවකවධ ගැටුම දුරදිග යයි

0
159

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ දෙවැනි හා තෙවැනි වසර සිසු පිරිසකට එරෙහිව ජේ‍යෂ්ඨ සිසු සිසුවියන් පිරිසක් නවක වද දීමේ සිදුවීමක් දුරදිග යෑමෙන් හටගත් ගැටුමකින් තුවාල ලැබූ සිවුදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් සිසුන් දෙදෙනකු හා සිසුවියන් දෙදෙනකු මෙසේ තුවාල ලබා ඇත. පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම තීරණයට සිසුන් කණ්ඩායමක් විරෝධය දක්වා ඇති අතර මේ වනවිටත් ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්ව නොගොස් නේවාසිකාගාර තුළ රැඳී සිටින බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවැසීය. නවක වදයට එරෙහි සිසු පිරිසකට විශ්වවිද්‍යාලයේ ගෙම්බා ආපනශාලාව තුළ ඉකුත් 14දා සිදුවී ඇති මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇත. මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් පවතී.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සිදුවීමේදී නවක වදයට පක්ෂ තෙවැනි හා සිවුවැනි වසර සිසු පිරිසක් පහරදීම කර ඇතැයිද පහරකෑමට ලක්ව ඇත්තේ නවක වදයට විරුද්ධ සිසු සිසුවියන් පිරිසක් යැයිද විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නවක වදයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ මත හේතුවෙන් ඇති වූ විරසකයක් දුර දිග ගොස් මෙම පහර දීම සිදු වී ඇතැයි දැනට සිදුකර ඇති පරීක්ෂණ මඟින් හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ‘මව්බිම’ කළ විමසීමකදී සඳහන් කළ අතර එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 4ක් ලැබී ඇති බවය.

අම්රා ලියාකත්, මහනුවර – කේ.එල්. සුරවීර