පුංචි ඡන්දය ගැන නීත්‍යනුකූලව කටයුතු කරනවා

0
8

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් නොකරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.  පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව  නීත්‍යනුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා    ප්‍රකාශ කළේය.

විපක්ෂය  පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නේදැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය. විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවත්, නීතිය අනුව ඒ පිළිබඳ කටයුතු කරන සේම නීතියෙන් පිට කිසිවක් සිදු නොකරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

කොමිෂන් සභාවටද හිමි බලතල ප්‍රමාණයක් ඇති බව සඳහන් කළ අගමැතිවරයා තවම ගෙවෙන්නේ සැප්තැම්බර් මාසය වන නිසා කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්නැයිද විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

“පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රම පිළිබඳ සංශෝධන පාර්ලිමේන්තු  කාරක සභාව දීර්ඝ කාලයක් කටයුතු කරලා නිර්දේශ රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිර්දේශයන් පිළිබඳ නීති කෙටුම්පත දැනට සකස් කරල ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර කෙටුම්පත් ගැන කොමිෂන් සභාව අධ්‍යයනය කරනවා. ඒ නිසා අපේ කිසිම ගැටලුවක් නෑ. මේ කියන කලබලයක් තවම නෑ. අද ඉන්නේ අපි සැප්තැම්බර් මාසේ. ඒ නිසා ඒ අනුගමනය කරන පිළිවෙත් නීතිය අනුව මිසක් නීතියෙන් පිට ගමන් කරන්න බෑනේ.”

“කලබල වෙලානේ ඉන්නේ, මේ අපේ ප්‍රතිපක්ෂය කලබල වෙලා ඉන්නේ. ඒ නිසා මම පැහැදිලිව කිව්වා නීතිය අනුව කටයුතු කරන බව.  මැතිවරණ කොමිෂන්  සභාවටත් යම්කිසි හිමි බලතල ප්‍රමාණයක් අපි පවරා තිබෙනවා. අමතක කරන්න එපා. ඒ නිසා විටින් විට අපිට ඕන වෙලාවට අපි හඬ නඟපු පළියට සියලු දේ පසුදාම සිද්ධ වෙන්නේ නෑ. ඉවසීමෙන් අපි ගමන් කරනවා අනුගමනය කරන නීති රීති අනුව”යැයිද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි