පීපල්ස් ලීසිං සමාගමේ නව සභාපති ප්‍රදීප් අමිර්තනායගම්

0
18

2022 සැප්තැම්බර් මස 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත් කර ඇත.

2022 ජූලි 15 වැනි දින සිට ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂවරයකු  ලෙසද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්‍රදීප් අමිර්තනායගම් මහතා 2015 – 2019 දක්වා නියෝජ්‍ය සභාපති ලෙසත් 2019 -0 2020 කෙටි කාල සීමාව තුළ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස්හි අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කර තිබේ.

අමිර්තනායගම් මහතා වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) සාමාජිකයකු වන අතර එක්සත් රාජධානියේ ත්‍රිත්ව සංගීත විද්‍යාලයේ (Trinity College of Music) කථන හා නාට්‍ය  අංශයේ සාමාජිකයකි. ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය හා ගුවන්විදුලි සංස්ථාව යන මාධ්‍ය ආයතන ත්‍රිත්වයේම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසද කටයුතු කර තිබෙන්නෙකි. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මූලස්ථානය වන “බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ.

බටහිර කොළඹ රොටරි සමාජයේ 50වැනි සභාපතිවරයා ලෙස පත් වූ ඔහු 2012 “වසරේ රොටරියන්” සම්මානයෙන්ද පිදුම් ලැබීය. ලාදුරු රෝගයෙන් පීඩාවට පත්වූවන් නඟාසිටුවීම හා පුණුරුත්ථාපනයකිරීමේ සංගමයේ උප සභාපතිවරයා ලෙසද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

සුජීව රාජපක්ෂ මහතාගෙන්  පසු නව ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස අමිර්තනායගම් මහතා පත්වීමත් සමඟ පීපල්ස් ලීසිං අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස ආර් පතිරගේ මහතා කේ.සී.ජේ.සී ෆොන්සේකා මහතා ඒ.ඒ අහමත් මහතා සී.ජේ. විජේතිලක මහතා යු.එල්.ඒ.ඩබ් බණ්ඩාර මහතා එම්.සී. පීටර්ස් මෙනෙවිය සහ ආර් කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබයි.