පක්ෂෙ අවුල් හින්දා මහජන ගැටලු ලිහන්න අපිට වෙලාවක් නෑ

0
13

පක්ෂ අභ්‍යන්තර අර්බුද නිසා මහජනතාව පීඩා විඳින ගැටලු ගැන පූර්ණ අවධානයක් යොමු කිරීමට කාල වේලාව සොයා ගැනීම ගැටලුවක් වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ‘මව්බිම’ ට පැවැසීය.

මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණයට පිටින් මන්ත්‍රිවරු පිරිසක් කටයුතු කිරීම හේතුවෙන් පක්ෂයක් ලෙස සාමුහිකව කටයුතු කිරීමේදී යම් දෙගිඩියාවක් හටගෙන තිබෙන බව ඔහු කීය. 

මහජනතාව පීඩා විඳින ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රශ්න රාශියක් තිබියදී ඒවාට ප්‍රමුඛ අවධානයක් දෙනවාට වඩා පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ විනය සම්බන්ධයෙන් කතා කළ යුතුව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් අවසන් විස¾දුමකට එළැඹීම සඳහා ඉදිරි සති කිහිපයේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

එහිදී අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි පිරිස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් වැඩි බර තැබීමක් කරනු ඇතැයිද ඔහු කීය.

මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ මණ්ඩලය ඒ වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම පැවැසීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභා එකඟතා උල්ලංඝනය කරමින් පක්ෂයේ ඇතැම් ජේ‍යෂ්ඨයන් පුද්ගලවාදී ලෙස තීන්දු ගත්තත් ඊට එරෙහිව විනය පියවර පමා වීම ගැන ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන් තවත් පිරිසක් අතරේ මේ වන විට දැඩි කනස්සල්ලක් මතුව තිබෙන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

සවනි ශේශාධි