නීත්‍යනුකූලව රට සල්ලි එවන රට විරුවන්ට කාර් පර්මිට් දීම ඇරඹෙයි

0
10

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට  විශේෂ වාහන ආනයන බලපත්‍ර ලබාදීම  ඊයේ (20දා)ඇමැති මනුෂ නානායක්කරගේ මුලිකත්වයෙන් ආරම්භ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සඳහා  ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, ඒ සඳහා විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝදෙනකු අඛණ්ඩව විමසීම් කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ශ්‍රී  ලාංකිකයකු මෙම බලපත්‍රය ලබාගැනීමට සුදුසුකම් සපුරන බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ මැයි  01 වැනිදා සිට දෙසැම්බර් 31දා දක්වා කාලය තුළ ප්‍රේෂණය කරන ඩොලර් විසි දහසක හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදල විද්‍යුත් මෝටර් රථ සඳහාත්, මැයි 01 වැනිදා සිට 2023 මැයි මාසය දක්වා ප්‍රේෂණය කරන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදල විද්‍යුත් යතුරුපැදි ගෙන්වීම සඳහාත් වලංගුවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරටට යොමුකරන ලද ප්‍රේෂණය නීත්‍යනුකූල බැංකු පද්ධතිය හෝ නියෝජිතයකු වෙත යොමුකර තිබීමත්, මුදලින් සියයට 50ක් රුපියල් බවට පරිවර්තනය වී තිබීමත් අනිවාර්යය බවත්, මෙසේ යොමුකරන හෝ යොමුකළ මුදලින් හරි අඩක මුදලකට යතුරුපැදිය හෝ මෝටර් රථය ගෙන්වා ගත හැකි බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ආනයනය කරන වාහන පාවිච්චි නොකළ  බ්‍රෑන්ඩ් නිව් හෝ ධාවන දුර කිලෝමීටර ‘0‘ සටහන්ව තිබීමත්, පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ ආනයනය කිරීමත් අනිවාර්ය බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ගෙන්වන වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සඳහා අවම වශයෙන් වසර තුනකවත් නිෂ්පාදකයාගේ, ආනයනකරුවාගේ සහ අපනයනකරුවාගේ වගකීමක් තිබිය යුතු බවත්, ජාත්‍යන්තර විදුලි වාහන මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් සහ අනුමත සම්මත ක්‍රියාපටිපාටින්ට අනුකූලව බැටරිය බැහැර කෙරෙන බවට සහතික වියයුතු බවත් එම අමාත්‍යාංශය පවසයි.

මෙරටට එවූ ප්‍රේෂණ රුපියල්වලට පරිවර්තනය කොට බදු මුදල් ගෙවිය හැකි බවත්, එම කටයුතු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුකූලතාවන්ට යටත් වියයුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෝටර් රථයක් නම් එක් වරක් චාර්ජ් කළ පසු අඩුම කිලෝමීටර් දෙසීයක දුරක් ධාවනය කළ හැකි විය යුතු බවත්, මෙරටට ප්‍රේෂණය කළ සියලු මුදල් පිළිබඳ වාර්තාවක් අදාළ බැංකුව හරහා ඉදිරිපත් කළ යුතු බවත් එම අමාත්‍යාංශය පවසයි.

කම්කරු අමාත්‍යාංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් අයැදුම්පත හා තොරතුරු බාගත කර විදෙස් රටක සේවය කරන බව, මෙරටට මුදල් එවූ බව සහ වාහනය ගෙන්වීමට අදාළ ලියකියවිලි සමඟ ඉදිරිපත් කිරීමෙන් බලපත්‍ර ගෙන්වා ගැනීමට  හැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙලෙස ගෙන්වන වාහනය ලියාපදිංචියෙන් වසර දෙකක් ගතවන තුරු තුන්වැනි පාර්ශ්වයකට පැවැරිය නොහැකි බවත්, සීඅයිඑෆ් වටිනාකමෙන් සියයට දහයක වටිනාකමට සරිලන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් අතිරේකව ගෙවීමෙන් අවශ්‍ය  නම් වසර දෙකකට පෙර වාහනය පැවරීමට පහසුකම් සපයා ඇති බවත් එම අමාත්‍යාංශය  පවසයි.

අමිත් මධුරංග ගමගේ