දුම්රිය මාර්ග නඩත්තු නොකිරීමෙන් මගී ජීවිත අවදානමේ

0
16

දුම්රිය මාර්ගයේ පවතින දෝෂ තත්ත්වයන් හා නඩත්තු කටයුතු හේතුවෙන් දුම්රිය මගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කර ඇති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය අමුද්‍රව්‍යවල හා සේවක හිඟය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමනාගමනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ශීඝ්‍රගාමී දුම්රිය බොහොමයක් සඳහා අඩුවේග සීමා සලකුණු කර ඇති බවත් හෙතෙම කීය.

රට පුරාම දුම්රිය මාර්ගවල දුම්රිය රේල් පීලි නඩත්තු කටයුතු අක්‍රමවත් අතර මුහුදුබඩ ප්‍රදේශයේ මේ තත්ත්වය ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින බවත් ඔහු සඳහන් කළේය.

මේ සඳහා කඩිනමින් විසඳුම්  ලබා දිය යුතු බවත් ඒ සඳහා වගකිව යුතු නිලධාරීන්ගේ මැදිහත්වීම අවශ්‍ය බවත් ඔහු පැවැසුවේය.

එසේම දුම්රිය මාර්ගවලට හා දුම්රියට අවශ්‍ය නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවීම නිසා දුම්රිය විශාල සංඛ්‍යාවක් අවලංගු වීම සිදුවන බවත් ඒ සඳහා කිසිම බලධාරියෙක් කළමනාකරණයට පියවර  නොගෙන ඇති බවත් ඔහු පැවැසීය.

වගකිව යුතු නිලධාරීන් තමන්ගේ නිල සංචාරයන්  හා පරීක්ෂණ කටයුතු පමණක් සිදු කර ගන්නා අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කිසිදු වැඩ කටයුත්තක් ඉටු නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන