දීමනා ගැටලුවක් මත වනජීවී නිලධාරීන් අකුරට වැඩ

0
10

වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට දීමනා ගෙවීමේ ගැටලුවක් මුල්කොට ගනිමින් එළැඹෙන 23 වැනිදා සිට අකුරට රාජකාරි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්. එල්. ඒ. ටී. සඳරුවන් ‘මව්බිම’ ට පැවැසීය.

ඒ අනුව වන සත්ත්ව නියාමක, අඩවි සහකාර හා අඩවි ආරක්ෂක යන ක්ෂේත්‍ර නිලධාරීන් 23 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට එක් වන බවද ඔහු කීය.

ඒ අනුව සාමාන්‍ය රාජ්‍ය සේවයට අනුරූපීව උදෑසන 8.30 සිට හවස 4.15 දක්වා නිවාඩු නොවන සතියේ දිනවල පමණක් රාජකාරියේ යෙදෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම කාලයෙන් පසු කිසිදු ක්ෂේත්‍ර රාජකාරියකට සම්බන්ධ නොවන බවද ඔහු අවධාරණය කළේය.

රාත්‍රි කාලයේ ගම් වදින වන අලි පලවා හැරීම්, ආපදාවට ලක්වන අනෙකුත් වන සතුන් පිළිබඳ සොයා බැලීම් හා ජාතික උද්‍යාන තුළ මුර සංචාරක කටයුතු ආදී සියලු රාජකාරි අඩපණ වනු ඇතැයිද හෙතෙම පැවැසීය.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට අතිකාල වෙනුවට දීමනාවක් ගෙවීමට පරිපාලනය ගෙන ඇති තීන්දුවට අනුව එය ගෙවීම සඳහාද අසාධාරණ අයුරින් කොන්දේසි පනවා ඇතැයිද ඔහු චෝදනා කළේය.

ආයතන සංග්‍රහය තුළ ක්ෂේත්‍ර නිලධාරීන්ට අතිකාල හිමි නොවන බව සඳහන් වුවද, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 33/2017 හි දරන චක්‍රලේඛයෙහි, ක්‍ෂේත්‍ර නිලධාරි නාම ලේඛනයේ තම ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්ගේද නම් සඳහන් වුවද ඔවුන් අතිකාල ලබා ගන්නා ආකාරය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් දෙපාර්තමේන්තු පරිපාලනය සිදු කළේ නම් වරින් වර සිදු කරන දිරිදීමනා අරගලයට දිගුකාලීන පිළිතුරක් ලබා ගැනීමට ඉඩ තිබූ බවද ලේකම්වරයා කීය.

ක්‍ෂේත්‍රයේ සිටින දීමනා ලබන නිලධාරියකු ප්‍රධාන කාර්යාලයේ දුරකථන පණිවුඩ ඒකකයට ස්ථාන මාරුවක් ලබා රාජකාරියට වාර්තා කළහොත් ඔහුට හෝ ඇයට අතිකාල හිමි වන බවද, එකම තනතුරෙහි කොටසකට දීමනාවක් සහ තවත් කොටසකට අතිකාලද හිමි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අතිකාල ගැටලුව දෙපාර්තමේන්තු පරිපාලනයේ වුවමනාව මත විසඳිය හැකි හෝ නොහැකි ගැටලුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවද හෙතෙම  චෝදනා කළේය.

සිදු කරන සේවයට අදාළව ගෙවීමක් සිදු කිරීමට පරිපාලනය අපොහොසත් වීම හේතුවෙන් අවසානයේ එකඟ වූ දීමනාව හෝ ගෙවීමට පනවා ඇති කොන්දේසි ලිහිල් කර දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් පැවැසීය.

සවනි ශේශාධි