දසුන් වගේ වුණාම ගොඩද?

0
44

ශ්‍රී  ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කළාට පස්සෙ ශ්‍රී ලංකා  කණ්ඩායමට හැමෝම මල් වරුසා ඉහිනවා. ක්‍රීඩකයන්ගේ සැලසුම් ගැන, ඒ අයගේ කැපවීම ගැන, ඒ අයගේ එකමුතුකම ගැන, ඒ අයගේ පවුලේ විස්තර, මෙකී නොකී බොහෝ දේවල් එක්ක අද වෙනකොට ඔවුන්ව විරුවන් විදිහට විජාරමාන කරලා තියෙනවා.

ජයග්‍රහණයක් පිළිබඳ සේයාවක්වත් නැතිව තිබූ රටකට ක්‍රිකට් කණ්ඩායමත් දැල්පන්දු කණ්ඩායමත් රැගෙන ආව ජයග්‍රහණය ඇත්තටම ආශ්වාදජනකයි. 96 ලෝක කුසලානය ජයග්‍රහණය කළා වගේ සතුටක් ආසියානු කුසලානය ජයග්‍රහණය කළාම අපට දැනෙන්නේ ඇත්තෙන්ම අපේ රට  ජයග්‍රහණවල හිස් කාන්තාර බිමක් වෙලා තියෙන වකවානුවක් හින්දයි.

දැන් බොහෝ දෙනා කතා කරනවා, දසුන් වගේ වෙන්න, දසුන්ලා වගේ වැඩ කරන්න, දසුන්ල වගේ රට හදන්න, වැනි දේවල් ගැන.

ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ අවිනිශ්චිත ක්‍රීඩාව ඇතුළේ අවසාන පන්දුව දක්වාම සිදුවෙන දේ අපිට අදහා ගන්නට බැහැ.

අද වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් උත්කර්ෂයට නංවමින් කතා කරලා බොහෝ දෙනා ඔවුන්ගෙන් පරමාදර්ශ ගන්නට උත්සාහ කරනවා. යම් හෙයකින් මේ ජයග්‍රහණ ඉදිරියේදී ආපිට හැරුණොත් අද පූජාසනයේ හි¾දුවා පුද සත්කාර කරන දසුන්ලටම එරෙහිව නැවතත් අපහාසයේ උපහාසයේ වේදනාබර ප්‍රහාරය එල්ල වෙනවා.

ඇත්තටම ඒ ජයග්‍රහණයේ රහස මොකක්ද?

ඔවුන්ට වැඩපිළිවෙළක් තිබුණා. ඉලක්කයක් තිබුණා. ක්‍රමවත් සැලැස්මක් තිබුණා. ශක්තිමත් කණ්ඩායම එකට හිටියා. කණ්ඩායමේ එකිනෙකා පරයා යනවා වෙනුවට ප්‍රතිවාදීන්ව පරයා යන්නේ කොහොමද කියන එක ගැන සැලසුම් කළා.

අවසානයේ දී ජයග්‍රහණය හිමිවුණා.

දැන් දේශපාලකයෝ බොහෝ දෙනා ජනතාවට කියන්නේ දසුන්ල වගේ වැඩ කරන්න කියලා.

දසුන්ලා වගේ වැඩ නොකරන්නේ කොහොමද කියන එක උපරිමයෙන් ඔප්පු කරපු දේශපාලකයො තමයි ජනතාවට දසුන්ලා වගේ වැඩ කරන්න කියන්නේ.

96 ලෝක කුසලානය ජයග්‍රහණය කරපු අර්ජුන ඇතුළු කණ්ඩායම ඊළඟ ලෝක කුසලානය පරාජය වෙනවා. හැබැයි ඒ වෙනකොට කණ්ඩායමේ නායකයෝ වෙනස් වෙලා. අර්ජුන, අරවින්ද වගේ ජේ‍යෂ්ඨයෝ සනත් වගේ චරිතවලට ඉඩදීලා කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩකයෝ විදිහට සෙල්ලම් කළා. ඕනෑම ක්‍රීඩකයකුට තමන්ගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් කාල සමයක් තියෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ කාලය අවසන් වෙනවා. නමුත් ආශාව අවසන් වෙන්නේ නැහැ. ආශාව ඉදිරියට දාලා කුසලතාව අහිමි ක්‍රීඩකයෙක් තවදුරටත් කණ්ඩායම තුළ ඉන්නවා නම් ඒකෙන් වෙන්නේ විශාල අගතියක්.

96 සුපිරි ක්‍රීඩකයා වෙච්ච සනත් ජයසූරිය සමුගන්නා කාලය ඉක්මවා යනතුරු ක්‍රීඩා කළා. ඒ හේතුවෙන් සනත්ටත් කණ්ඩායමටත් විශාල පරාජයන් රැසකට මුහුණ දෙන්න වුණා.

නියමිත වකවානුවේ තරු ගුණය අරගෙන සනත් සමුගත්තා නම් ඔහුට මීටත් වඩා කීර්තියක් අදටත් රට තුළ තිබෙනවා. සංගා, මහේල දෙන්නා ක්‍රිකට්වලින් සමුගත්තේ තමන්ගේ හැකියාවන් තියෙද්දිමයි. අදටත් ඔවුන් ලෝකය තුළ විශාල නමක් රඳවාගෙන ඉන්නවා.

ලෝකයේ තරු ගුණය පිහිටා තිබෙන චරිත ඉතාම අඩු වයසකදී මියගියාට පස්සේ ඔවුන් ලෝකය තුළ විජාරමානයි.

චේ ගුවේරා කියන්නේ අඩු වයසකින් මිය ගිය අපූරු තරුණයෙක්. ඔහු අදටත් ලෝකය තුළ උන්මාදයක්. ලංකාවේ ගත්තට පස්සේ විජය කුමාරතුංග, මහගමසේකර, ප්‍රේමකීර්ති, ජෝතිපාල වගේ චරිත ඉතාම කෙටි ආයුෂ අරගෙන ජීවිතයෙන් සමුගත්තා. අදටත් ඔවුන් රට තුළ ජනකාන්තයි

නමුත් තමන්ගේ ජීවිත කාලය පුරාම දේශපාලනය කරමින්, සමුගත යුතු කාලයේ සමු නොගනිමින් දේශපාලනය තුළම ඇලී ගැලී සිටි සහ සිටින බොහෝ චරිත අද වනවිට ජනතාවගේ හිත්වලින් බොහෝ අෑතට ගොස් අවසන්.

මෙවර ආසියානු කුසලාන කුසලාන ජයග්‍රහණය කළේ තරුණ කණ්ඩායමක්. ඒ තරුණ කණ්ඩායම තුළ සමඟිය, මිත්‍රත්වය, සහයෝගය, හැකියාව, කුසලතාව, දක්ෂතාව, සේරම එකට කැටි වී තිබුණා. කණ්ඩායම් හැඟීම තුළින් ඔවුන්ට මේ ජයග්‍රහණයට පාර හදාගන්න පුළුවන් වුණා.

අත්දැකීම් තිබුණ ක්‍රීඩකයන් වගේම අලුත් දක්ෂ ක්‍රීඩකයනුත් ඒ කණ්ඩායම තුළ සම්මිශ්‍රණයක් විදිහට හිටියා. නෙට්බෝල් කණ්ඩායම ජයග්‍රහණය කළේත් අන්න ඒ සම්මිශ්‍රණය සහ සමඟිය තුළින්. තර්ජනී වගේ අසාමාන්‍ය දක්ෂතාවන් තිබුණු ජේ‍යෂ්ඨ ක්‍රීඩිකාව අලුත් තරුණ කණ්ඩායම සමඟ මනා සංහිඳියාවකින් ක්‍රීඩා කළා.

අවසානයේදී විජයග්‍රහණය අත්පත්කොට ගත්තා.

එහෙත්, ඔවුන් වගේ වෙන්න කියලා රටට උපදෙස් දෙන බොහෝ දෙනා විශ්‍රාම යෑම කියන්නේ කුමක්ද කියලවත් දන්නේ නැහැ. වසර හැටකින් සාමාන්‍ය ජනතාවට විශ්‍රාම යන්න කීවත් දේශපාලකයෝ විශ්‍රාම යා යුතු යැයි ඔවුන් විශ්වාස කරන්නෙත් නැහැ.

වියපත් වයෝවෘද්ධ පාර්ලිමේන්තුවක සාම්ප්‍රදායික ඔළුගෙඩි වලින් කරන ආචීර්ණ කල්පිත ප්‍රතිපත්ති සම්පාදන එක්ක මේ රට වේගයෙන් පල්ලම් බහිනවා.

රටට වැඩ කරන්න හිතන රට ගැන හැඟීමක් ඇති තරුණ පරම්පරාව අපේක්ෂා භංගව බලාගෙන ඉන්නවා. අතිසාර්ථක අරගලයක් අවසානයේදී  අසාර්ථක විකෘති ප්‍රතිඵලයක් අත්විඳින රටක දේශපාලකයෝ ගජරාමෙට, උපදෙස් දෙනවා.

අනෙක් අතට

රටට අවශ්‍ය වෙන්නේ, අරයා වගේ, මෙයා වගේ, එයා වගේ අය නෙවේ. රටට අවශ්‍ය කවුරුත් වගේ වෙනුවට.