තරුණ පරපුරේ වෘත්තීය පුහුණුවට නේචර් සීක්‍රට්ස් අඛණ්ඩව 17 වැනි වසරටත් ජාතික මෙහෙවරක

0
22

ශ්‍රී  ලංකාවේ අද්විතීය ශාකසාර රූපලාවණ්‍ය සන්නාමය වන නේචර්ස් සීක්‍රට්ස් මෙරට තරුණ තරුණියන්ගේ හෙට දිනය ප්‍රමුදිත කරනු වස් ශ්‍රී  ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට (VTA) එහි දිවයින පුරා සංවිධානය කරනු ලබන වෘත්තීය රූපලාවණ්‍ය පාඨමාලාවන්හි ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අවශ්‍ය රූපලාවණ්‍ය  නිෂ්පාදන දායකත්වය ලබාදෙන එකඟතා ගිවිසුමට 17 වැනි වරටද පසුගිය දා අස්සන් තබනු ලැබීය.

විවිධ වෘත්තීය මාවත් ඔස්සේ තම හැකියා හා දක්ෂතා ඔපමට්ටම් කරගන්නා තරුණ තරුණියන්ට ශ්‍රී  ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මඟපෙන්වීම යටතේ ඔවුන්ට වෘත්තීයමය සුදුසුකම් සපුරාගන්නට දැවැන්ත වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් ගෙන යයි.

නේචර්ස් සීක්‍රට්ස් රූපලාවණ්‍ය සන්නාමය හිමි නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය මූල්‍යමය පරමාර්ථවලින් තොරව දැයේ දූ දරුවන්ට සිදු කරනා අත දීමක් ලෙස මෙම සත්කාර්ය 2005 වසරේ සිට අඛණ්ඩව සිදු කරගෙන එනු ලබයි. වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට ආරම්භයේ සිටම තත්ත්වයෙන් උසස් රූපලාවණ්‍ය නිෂ්පාදන හඳුනාගැනීමටත් ඒවා ඇසුරින් ප්‍රායෝගික පුහුණුවීම්හි නිරත වීමට ලැබීම විශේෂ අවස්ථාවකි.

මේ සඳහා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබීම එහි ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා හා නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ අධ්‍යක්ෂ /සමූහ ප්‍රධාන විධායක නිලධාරි සමීර ෆොන්සේකා යන මහත්වරු විසින් පසුගියදා නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේදී සිදු කරන ලදී.

නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය රටට වැඩදායි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා මහත් පිටිවහලක් වනවා සේම පරිසර හිතෛෂී කර්මාන්තශාලා පරිශ්‍රයක්ද නිෂ්පාදන

ක්‍රියා පිළිවෙතක්ද අනුගමනය කරන දේශීය ආයතනයකි. පරිසරය රැකගැනීමට තම උපරිම දායකත්වය ලබා දෙමින් “සිරිලක ඔසු උයනක් කරමු” නමින් දියත් කළ ව්‍යාපෘතියෙන් 2025 වර්ෂය වන විට ඔෟෂධ පැළෑටි 100,000ක් හා ඔෟෂධීය බීජ මිලියන 5ක් දිවයින පුරා බෙදා දීමටද සැලසුම් කර ඇත. එමෙන්ම නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය “ජාතික රන් සම්මානය” හිමිකරගත් ප්‍රථම හා එකම රූපලාවණ්‍ය නිෂ්පාදන  ආයතනයද වේ.

අති නවීන යන්ත්‍රසූත්‍ර භාවිත කරමින් යුරෝපයේ GMP ප්‍රමිතීන් අභිභවමින් ISO 9001 හා 14001 ප්‍රමිතීන් යාවත්කාලීනව පවත්වාගෙන යමින් උසස්ම තත්ත්වයේ නේචර්ස් සීක්‍රට්ස් පැන්ඩා බේබි, චැම්පියන් හා මිසුමී යන සන්නාම නාම යටතේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ සුන්දරත්වයක් තම පාරිභෝගිකයන්ට හැම විටම ලබාදෙයි.

17 වසරක් පුරා රූපලාවණ්‍ය රැකියා ක්ෂේත්‍රයට වෘත්තිකයන් බිහි කිරීමට දායක වූ නේචර්ස් සීක්‍රට්ස් හෙට ලෝකය දිනන තරුණ පරපුරට සුභාශිංසන පිරිනමයි.