ඩුබායිවලින් ‘සලිඳු’ එවන කුඩු පැකට් කළ යුවළක් දැලේ

0
8

මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුරේ සලිඳු නමැත්තා විසින් හෙරොයින් පැකට් කිරීම සඳහා යොදා ගත් මධ්‍යස්ථානයක් වැටලූ අළුබෝමුල්ල පොලිසිය එම නිවෙසේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු අඹු-සැමි යුවළක්ද අත්අඩංගුවට ගත්තේය.

එම නිවෙසේ තිබී හෙරොයින් ග්‍රෑම් 320ක් හා ඇසුරුම් කඩදාසි 4000ක් පමණද පොලිසිය විසින් සිය භාරයට ගත්තේය.

පානදුරේ සලිඳු නමැත්තාට අයත් මත්කුඩු යතුරුපැදියකින් වෙනත් පළාත්වලට ප්‍රවාහනය කරන බවට බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත විසිඅට හැවිරිදි සැකකරුවකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට මුලින් හැකිවී ඇත.

පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත පානදුර කිරිබේරිය ප්‍රදේශයේ ඔහු නැවතී සිටි නිවෙසක් පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවක් එම නිවෙස තුළ හෙරොයින් පැකට් කිරීමේ යෙදී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය තිස්හය හැවිරිදි කාන්තාවකි.

ඇගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ සලිඳු විසින් ඩුබායි රාජ්‍යයේ සිට වරකට කුඩු කිලෝවක් එවන බවත් එම කුඩු කිලෝව කුඩා පැකට්වලට සකස් කිරීම තමාගේත් සැමියාගේත් කාර්යයක් බවය.  කිලෝවක කුඩු එලෙස පැකට් කිරීම සඳහා සලිඳු විසින් ගෝලයකු අත රුපියල් ලක්‍ෂ තුනක මුදලක් තමාට ලබා දෙන බවත් ඇය පොලිසියට පැවැසුවාය.

එලෙස පැකට් කරන ලද කුඩු සලිඳුගේ නියෝග මත තැන් තැන්වල තබන බවත් ඉන් අනතුරුව සලිඳුගේ ගෝලයකු පැමිණ එම කුඩු අදාළ පුද්ගලයන්ට විකුණන බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබිණි.

මාස තුනකට පෙර සිට සලිඳු විසින් මෙම අඹු සැමි යුවළට හෙරොයින් කිලෝව බැගින් විශාල ප්‍රමාණයක් එවා ඇති බවත් අවසන් වරට ඇය පැකට් කර සිට ඇත්තේ ඉකුත් 16 වැනිදා සලිඳු එවූ කුඩු කිලෝව බවත් අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සැකකාරිය කිරිබේරිය නිවෙස මීට මාස තුනකට පෙර හෙරොයින් පැකට් කිරීම සඳහාම කුලියට ලබාගෙන ඇතැයි පොලිසිය කීය.

අත්අඩංගුවට ගන්නා මොහොතේ රුපියල් ලක්‍ෂ 30ක් වටිනා මත්කුඩු තිබූ අතර එම කුඩු අවසන්වරට ඔවුන් වෙත ලැබූ කුඩු කිලෝවෙන් ඉතිරි ඒවා බවද පොලිසිය කියයි.

ඇගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු එම කුඩු කිලෝවෙන් පැකට් කරන ලද ග්‍රෑම් 150ක් මිලදී ගත් පුද්ගලයකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතිරි කුඩු පැකට් මිලදී ගත් පුද්ගලයාද මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට  කටයුතු යොදා ඇතැයිද කියයි.

මීට අමතරව ජංගම දුරකථන 5ක් සහ යතුරුපැදි දෙකක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.

හෙරොයින් පැකට් කිරීම සඳහා යොදාගත් විද්‍යුත් තරාදි දෙකක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර අඹු-සැමි යුවළ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසංක රාජකරුණා  මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජයවර්ධන, කොස්තාපල්වරුන් වන තාරක (23013), අසිත (94543), ජයතිලක (88723) ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස්