ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් කිරුළ ගුවනින් යයි

0
87

ශ්‍රී  ලංකා බේස්බෝල් සංගමය, ශ්‍රී  ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහයෝගය මත සංවිධානය කළ ශ්‍රී  ලංකා-ජපන් මිත්‍රත්ව බේස්බෝල් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම පසුගියදා සමත් විය.

ඒ අනුව දියගම ක්‍රීඩා පිටියේදී පැවැති එම තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී  ලංකා යුද හමුදා කණ්ඩායම ලකුණු 7-3ක් ලෙස පරාජයට පත් කරමින් ගුවන් හමදා පිල එහි ශූරතාවට හිමිකම් කීවේය. ජපන්-ශ්‍රී  ලංකා මිත්‍රත්ව බේස්බෝල් පිටියේ 10 වැනි සංවත්සරය සහ ශ්‍රී  ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර 70 වසරක සංවත්සරය නිමිති කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්විණි.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම අවසන් තරගයේ ඉනිම් 10ක් අවසානයේදී ද දෙපිලම ලකුණු 4-4ක් ලෙස සම තත්ත්වයෙන් පසුවීම කැපී පෙනිණි.

එසේ වුවත් තරගයේ තීරණාත්මක 11 වැනි ඉනිමේදී ලකුණු 3ක් රැස්කිරීමට සමත් වූ ගුවන් හමුදා පිල ලකුණු 7-4ක් ලෙස කුසලානයට හිමිකම් කීවේය.

ජාතික බේස්බෝල් කණ්ඩායම නියෝජනය කරන ගුවන් හමුදා පිලේ නායක චින්තක ඉඳුනිල් මෙම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසත්, රොෂාන් සමරවීර දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්තේය. එසේම ගුවන් හමුදා කණ්ඩායමේ සමීර සඳරුවන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

ශ්‍රී  ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ශ්‍රී  ලංකා බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ලේකම් සංඛ අබේවික්‍රම යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගමිත දෙහිපිටිය