ගෙදර ආවොත් දේවල් හෙළිවේ යැයි බයට නංගිව පුච්චන්න ඇති

0
14

“නංගි වැඩ කරපු නිවෙසේදී ඇයට යම්කිසි කරදරයක් සිදු වී ඇති බවත් ඇය ගෙදර ආවොත් එම දේවල් හෙළි වේ යැයි බියෙන් තම නැඟණියට මෙම සිදුවීම සිදුවී ඇතැයි” රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේ මෙහෙකාර  සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිළී මිය ගිය ඉෂාලිනි නම් දැරියගේ සහෝදරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ (20දා) මරණ පරීක්ෂණයේ සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාළව ඊයේ අධිකරණය හමුවේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස අධිකරණය හමුවේ සාක්ෂිකාර විග්නේශ්වරන් තිරු ප්‍රසාද් යන අය ප්‍රකාශ කර සිටියේය.

“රිෂාඩ් බදියුදීන් යන අයගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසේ තමයි ඇය සේවයේ යෙදී සිටියේ. ඒ අතර වාරයේ ඇයට කරදර සිදු වුණා කියලා ඇය අම්මට කතා කරලා කියලා තිබ්බා. 2021.07.03 වැනි දින අම්මට බොරැල්ල පොලිසියෙන් කෝල් එකක් ආවා  නංගි ඉස්පිරිතාලෙ කියලා. මම ගියා නංගිව බලන්න ඉස්පිරිතාලෙට. මට බලන්න දුන්නේ නැහැ. එම මාසෙම පහළොස් වැනිදා මගේ නැඟණිය මියගියා.”

“මගෙ නංගි පිච්චිලා මියගියේ. නංගී අම්මට කතා කරල කරදරයි කියලා කියනකොට 2021 ජූලි 6 වැනිදා ඇවිල්ලා අම්මා එක්කගෙන යනවා කියලා නංගිට කිව්වා. ඒ අතරවාරයේ තමයි ජූලි 3 වැනිදා  නංගි පිච්චිලා තියෙන්නේ. නංගි වැඩ කරපු නිවෙසේ නංගිට කරදර වෙලා තියෙනවා. නංගි ගෙදරට ආවොත් මේ දේවල් හෙළි වෙයි කියලා බයට තමයි නංගිට මෙහෙම කරලා තියෙන්නේ කියලා මම හිතනවා.  පොලිසියට කටඋත්තරයක් ඒ සම්බන්ධයෙන් මා ලබා දීලා තියෙනවා.”

අනතුරුව එම දැරියගේ මව වන රාජ මානික්කම් රන්ජනී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙලෙස පැවැසීය.

“මගේ දියණිය සේවය කරන කාලය අතරතුරදී  ඇයට කරදරයි කියලා ඇය මට කතා කළා.  ඇය අන්තිමට කතා කරපු වෙලාවේ මම ඇයට කිව්වේ ඔයා ඉන්න මං ඇවිල්ලා ඔයාව එක්කගෙන යන්නම් මම ඒ වෙනුවට වැඩ කරන්නං කියලා. දුව ඒ ගෙදර සේවයට ගියාට පස්සේ එක දවසක්වත් අපේ ගෙදර ඇවිල්ලා නැහැ නිවාඩුවට.  අපි එයාව බලන්න එහි ගිහිල්ලත් නැහැ. පස්සේ දැනගත්ත දුව මෙහෙම පිච්චිල ඉස්පිරිතාලෙ ඉන්නවා කියලා. අපි බලන්න ගියා එයාව”

“අපි ඉස්පිරිතාලෙට ගිහිල්ලා බැලුවා. එයාට මැෂිම දාලා තිබ්බේ. ජූලි 15 වැනිදා මගේ දුව මියගියා. මං මරණ පරීක්ෂණයට සහභාගි වුණේ නෑ. මගේ දුව ගෙදරින් ගියේ ඉතාමත් හොඳින්. එහෙම ඉතාමත්ම හොඳින් ගිය දුවට මොනවා වුණාද, කොහොමද වුණේ කියන්න මම දන්නේ නැහැ. එයා පිච්චිලා තියෙනව කිව්වා. ඒක කොහොමද වුණේ කියල මම දන්නේ නැහැ. ගෙදර සිටින කාලයේදී මගේ දුවට කිසිම ප්‍රේම සම්බන්ධතාවක් තිබුණෙත් නෑ.  අනතුරුව දැරියගේ බාප්පා විසින්ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසුව නඩුවේ වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන ඔක්තෝබර් මස 4 වැනි දින දක්වා කල් තැබීය.

හංසි නානායක්කාර