කොස්මෝදර අබිරහස් මිනීමැරුමේ සැකකරුවෙක් අල්ලයි

0
27

කොස්මෝදර පොලිස් වසමේ ඉලුක්පිටිය, තුන්බැවුලහේන ප්‍රදේශයේ අගෝස්තු 15 වැනි දින වූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු 19 දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය. රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලබුවේ කොටපොළ, කොස්මෝදර, වේවැල්වල පදිංචි හේවගේ සමන් කුමාර (32) යන අයයි.

පැමිණිල්ල වෙනුවෙන් කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ උපදෙස් මත කොස්තාපල් මානගේ මහතා (84448) අධිකරණයට කරුණු දැක්වීය. කොස්මෝදර පොලිස් වසමේ කොස්මෝදර, අරඹකඩේ කොරවගේ දනුෂ්ක ප්‍රියශාන්ත (36) යන අය 2022.08.15 දින ඉලුක්පිටිය, තුන්බැවුලහේන ප්‍රදේශයේදී තේ වත්තක දලු මඩුවක් අසල පොලුවලින් පහරදී ඝාතනය කර තිබිණි.

මළ සිරුර තිබූ වත්තේ ස්ථිර දලු මඩුවක් ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය රැගෙන ආ ට්‍රැක්ටර් රථයේ රියැදුරු ඇතුළු පිරිස පුද්ගලයෙක් වැටී සිටිනු මුලින්ම දැක ඇත. ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළේය. ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරදින රාත්‍රි කොස්මෝදර, ඉලුක්පිටිය ප්‍රදේශයේ පින්කම් ගෙදරකට සහභාගි වී ඇත. එම නිවෙසට පැමිණි පිරිසක් ඝාතනය වූ පුද්ගලයා සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද බහින්බස් වීමක් සිදුව තිබේ.

පසුව ඔහු එම ස්ථානයෙන් නික්ම ගොස් තිබිණි. ආරවුල ඇතිකර ගත් පුද්ගලයන් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට සම්බන්ධ සැකකරුවකු 18 දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පිරිසක් පිළිබඳව අනාවරණය කරගෙන ඇත. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බැවින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

උෟරුබොක්ක – අතාවුද පතිරණ