කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව අවුරුදු 1 1/2 ක් තිස්සේ වහලා

0
14

මහරගම අපේක්ෂා රෝහල හැරුණු විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත් එම ළමා වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා මේ වනවිට වසර එකහමාරක් ගතව ඇතත් එය විවෘත කිරීමට මේ වනතෙක් පියවර ගෙන නැති නිසා එම වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන අෑත පළාත්වල දරුවන් විශාල පිරිසකට දැඩි අවදානමකට මුහුණදීමට  සිදුව ඇත.

මෙම වාට්ටුව දිනපතා රෝගී දරුවන් දස දෙනකු සඳහා අංග සම්පූර්ණ නේවාසික පහසුකම්වලින් ද  “කිමෝතෙරපි” සහ “රේඩියෝ තෙරපි” ප්‍රතිකාර පහසුකම්වලින්ද යුක්තව ඉදිකරන ලද්දක් වන අතර විශේෂඥ වෛද්‍යවරයකුගෙන්ද ජේ‍යෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන්ද, පුහුණු හෙද කාර්ය මණ්ඩලයකින්ද, කනිෂ්ඨ සේවකයන් දෙදෙනකුගෙන් ද යුත් කාර්ය මණ්ඩලයක්ද විය.

මේ අතර ශ්‍රී  ලංකා පිළිකා සංගමයේ කරාපිටිය ශාඛාව මඟින් මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා රෝහලේ නොමැති ඔෟෂධ පිටතින් ලබාදීම, දිනපතා ආහාරපාන ලබාදීම, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  ලබාදීම මෙන්ම එම දරුවන්ගේ පෝෂණය සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාසික දීමානවක් ලබාදීමට ද කටයුතු කර තිබිණි.

මෙම වාට්ටුවෙන් ප්‍රතිකාර ගනු ලබන්නේ දකුණු පළාතේ රෝගී දරුවන් පමණක් නොව ඇල්ල, වැල්ලවාය, බදුල්ල, මොනරාගල, අම්පාර, කතරගම, ආදී දුර බැහැර ප්‍රදේශවල පදිංචි දරුවෝද වෙති.

එහෙත් පසුගිය වසරේ ජුනි මාසයේ මෙම වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමන විට ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වී සිටි රෝගී දරුවන්ගේ සංඛ්‍යාව 250කි. දැන් මෙම දරුවන් සියලු දෙනාම මහරගම අපේක්ෂා රෝහල වෙත රැගෙන යෑමට සිදුව ඇත.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් පිළිකා සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරියකු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට ලංකාවටම ඉන්නේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙක් පමණක් යැයි පැවසූ බවය. කෙසේ වෙතත් තම සංගමය එම දරුවන්ගේ පෝෂණ දීමනාව මාස්පතා නොකඩවා ලබාදෙන බවත්  වාට්ටුව නැවත විවෘත කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා ඇති නමුත් තවම විස¾දුමක් ලැබී නැති බවත් එම නිලධාරියා පැවැසීය. මේ පිළිබඳව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ එස්.ඩී.යූ. එම්.රංග මහතාගෙන් විමසූ විට කියා සිටියේ පිළිකා රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවට සිටින්නේ ටික දෙනෙක් පමණක් බවය. එම වෛද්‍යවරුන්ද මහරගම රෝහලේ සිටින  නිසා කරාපිටිය රෝහලේ පිළිකා ළමා වාට්ටුවට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති වී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්