උතුරේ ඉඩම් ආක්‍රමණය ගැන හොයන්න තමිල් අරසු කච්චියෙන් කමිටුවක්

0
14

රාජ්‍ය ආයතන මඟින් උතුර – නැඟෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණයක් සිදුවන්නේ යැයිද ඒ ගැන සොයා බැලීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් කමිටුවක් පත්කළේ යැයිද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පැවැසීය.

ජාතික ගැටලුවට විස¾දුමක් අපෙක්ෂා කරන්නේ එක්සත් ශ්‍රී ලාංකේය සංකල්පය මත යැයිද එය අර්ථාන්විත බලය බෙදාහැරීමක් විය යුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව පෙරේදා එම පක්ෂයේ වවුනියාව කාර්යාලයේදී පැවැත්වුණු අතර එම රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

මෙහිදී සුමන්තිරන් මහතා මෙසේද පැවැසීය.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව හා වෙනත් රාජ්‍ය ආයතන මඟින් උතුර – නැඟෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක්‍රමණ පිළිබඳව අප පක්ෂය දීර්ඝව සාකච්ඡා කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්ද පත් කළා. විශේෂයෙන් ත්‍රිකුණාමලය තිරුකෝඩීශ්වරම් කෝවිල අවට ඉඩම් ආක්‍රමණය කරමින් තිබෙනවා.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයා වන්නේ ආර්. සම්පන්දන් මහතා හා මම තිරුකෝණේශ්වරම් කෝවිල් ප්‍රශ්නයට මැදිහත්වීමට තීරණය කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි රජයට බල කරමින් මේ වනවිට මහජන පෙත්සමකට අස්සන් ලබාගැනීම සිදුවෙනවා. මෙය සංවිධානය කර තිබෙන්නේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ එකමුතුවයි.  එම එකමුතුව මෙම පෙත්සමට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ගොස් අස්සන් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෙම පෙත්සමට විපක්ෂයේ සියලුම පක්ෂ හා වෘත්තීය සමිති සංවිධාන 2000ක පමණ සහයෝගය ලැබී තිබෙනවා.

මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු මධ්‍යම කාරක සභා සාමාජිකයෝ සහභාගි වී සිටියහ.

ඩී. එල්. ජයකොඩි