ඉගිළුණු කාරය ත්‍රිරෝද දෙකක වෑන් රියක හැපී තිදෙනෙක් රෝහලේ

0
10

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  දඹුල්ල රෝහල ඉදිරිපිට 17 දින රාත්‍රියේ අධික  වේගයෙන් ගමන් කළ කාර් රථයක් ත්‍රිරෝද රථ දෙකක, වෑන් රථයක, විදුලි පහන් කණුවක, ආරක්ෂිත බැම්මක  සහ අලංකාරය සඳහා  සිටුවා  තිබූ ගස්වල හැපී  සිදු වූ අනතුරකින්  එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා කුඩා දරුවන් දෙදෙනකුගේ ජීවිත අනූ නවයෙන්  බේරී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙම   අනතුරින්  තුවාල ලැබූ ත්‍රිරෝද රියැදුරකු දඹුල්ල මූලික රෝහලට එම අවස්ථාවේම ඇතුළත් කර ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වන කිහිපදෙනකු ගමන්ගත් කාරයේ ගැටුණු ත්‍රිරෝද රථය  මීටර් 100කට ආසන්න දුරක් ඇදීගොස් පෙරළී ගොස් මාර්ගයේ විදුලි පහන් කණුවක ආරක්ෂිත වැටක සහ අලංකරණයට සිටුවා  ඇති ගස්වල හැපී  ඇති බවත් පොලිසිය කියයි

අනතුර සිදුකොට නොනවත්වා ධාවනය වූ මෝටර් රථය තවත් මීටර් සීයක් පමණ අෑතින් මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ත්‍රිරෝද රථයක ගැටී ඇතැයි පොලිසිය කියයි

 එම ත්‍රිරෝදය ඇතුළේ කුඩා දරුවන් දෙදෙනකු වාඩි වී සිට ඇති බවත් එහි සිටි වැඩිහිටියන් ඔෟෂධ ලබා ගැනීම සඳහා ඔෟෂධහලකට ගොස් සිටි බවත් පැවැසේ. අනතුර  සිදු වෙනවාත් සමඟ ත්‍රිරෝද රථය ඇතුළේ වාඩිවී සිටි කුඩා දරුවන් දෙදෙනා එළියට විසි වීම නිසා ජීවිතය බේරී ඇතැයි පොලිසිය කියයි. එම ත්‍රිරෝද රථය විසිවී ගොස් මඳ දුරකින් නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් එම වෑන් රථය ද සුළු අලාභහානි සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

කාරය පැදවූ රියැදුරු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර එහි සිටි තවත්  දෙදෙනකු සිද්ධියත් සමඟ පලා ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු බිමත්ව සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.

දඹුල්ල – කේ.කේ.ආරියදාස