අප්‍රිකානු පිලේ ඉන්දීය සංචාරයට විදුලි බිලක් හරස් වෙයි

0
115

විදුලි බිලක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලේ ඉන්දීය සංචාරයට අදාළව මෙම මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ තරගය පැවැත්වීමට නියමිත කේරළයේ ගී්‍රන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිඟ විදුලි බිල ක්‍රීඩාංගණ බලධාරීන් මෙතෙක් නොගෙවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. මෙහිදී පසුගිය තෙවසරක කාලයක් තුළ ක්‍රීඩාංගණයේ විදුලි බිල වන ඉන්දීය රුපියල් කෝටි 2.5කට අධික මුදල නොගෙවීම හේතුවෙන් කේරල ප්‍රාන්ත විදුලි බල මණ්ඩලය මගින් ගී්‍රන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ විදුලි බලය විසන්ධි කිරීමට පසුගියදා කටයුතු කර ඇති බවද සඳහන්ය. මේ  හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කිහිපයක් මෙම ක්‍රීඩාංගණයේදී පවත්වා තිබුණේ කුලී පදනම මත ලබාගත් විදුලි ජනන යන්ත්‍ර උපයෝගී කරගනිමින් බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දක්වා තිබිණි.

කෙසේ වෙතත් ඉන්දීය විශේෂඥයන් පෙන්වා දෙන්නේ පවත්නා තත්ත්වය තුළ ඉහත විදුලි බිල වහාම ගෙවා දැමීමට කටයුතු නොකළහොත් කේරළ බලධාරීන්ට මෙම තරගය සංවිධානය කිරීමට නොහැකි වන තත්ත්වයක් මේ වන විටත් උද්ගතව ඇති බවයි. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල බලධාරීන් මෙම තරගය වෙනත් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් පසුවන බවත් එම කාලසීමාව තුළ ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන පසුබිමක් තුළ වෙනත් ක්‍රීඩාංගණයක් වෙත අදාළ තරගය ගෙනයෑමද මේ වන විටත් ගැටලු රැසකට මඟ පාදන්නක් බවට පත්ව ඇති බවද සඳහන්ය.

සටහන – ගමිත දෙහිපිටිය