JUST IN: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියට සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම්

0
218

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ සිසුන් පිරිසකට පහර දීමේ නවක වධ සිද්ධියට අදාළව ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, පහර දීමේ සිද්ධියෙන් පසු ශාස්ත්‍ර පීඨ සියලු සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් දේශන සිදු කිරීමට එම පීඨ පාලනාධිකාරිය තීරණය කර ඇති බව ය.

ශාස්ත්‍ර පීඨයේ සිසුන් කණ්ඩායමක් මෙම තීරණයට විරෝධය දක්වා තිබෙන අතර මේ වන විට ත් ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්ව නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටි බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පාලනාධිකාරියේ සහ සිසු සහභාගිත්වයෙන් අද (සැප්. 20) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැප්. 14 වන දා සිදු වූ නවක වධ සිදුවීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතී.

අප වාර්තාකරු සඳහන් කළේ, එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන හා තෙවන වසර සිසු පිරිසකට එම පීඨයේ ම සිසු සිසුවියන් පිරිසක් සිදුකළ නවක වධ සිදුවීමක් එහි අන්තර්ගත වී ඇති බව ය.

එහිදී පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

වැඩිදුර කියවන්න…