නිව්යෝක්හි පැවති අධ්‍යාපන පරිවර්තන සමුළුවට අධ්‍යාපන ඇමති සුසිල් එක් වෙයි

0
88

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැති අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගි වී තිබේ.

ලොව පුරා ඇති වී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත.

රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගි වී තිබේ.

තව ද අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම එළිදැක්වීම ද මෙහිදී සිදු වී ඇත

කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් සහ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින රටවල්වල අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම මෙමගින් සිදු කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ කරුණු දැක්වීම සමග ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ද ඉදිරියේදී මෙම මූල්‍ය පහසුකම ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.