ශ්‍රී ලංකාවට මූල්‍යාධාර නොදෙන බව කී ඉන්දියාවේ අලුත් ම ස්ථාවරය

0
254

හැකි සෑම ආකරයකින් ම ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ඉන්දියාව පවසයි.

ශ්‍රී ලංකාවට නව මූල්‍යාධාර ලබා දීමට ඉන්දියාව තවදුරට ත් සැලසුම් නොකරන බවට පසුගිය දා පළ වූ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා මේ බව සඳහන් කර ඇත.

මෙරට ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා ඉන්දියාව මේ වසරේදී පෙර නොවූ විරූ ආකාරයේ ඩොලර් බිලියන 4කට ආසන්න ද්විපාර්ශ්වික ආධාර මුදලක් ලබා දී ඇතැයි ඔහු අවධාරණය කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහය දෙන ලෙස අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ට ඉන්දියාව ද උපදෙස් දී ඇති බව ය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක ගැන අපි දන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිදුර අනුමැතිය ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය මත රඳා පවතිනවා,” ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉක්මන් ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රවල ඉන්දියාවේ දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගින් හැකි සෑම ආකාරයකින් ම ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ, ඊට අමතරව අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන ඉන්දීය ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘති ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ වෙමින් පවතින බව ය.

මේ අතර, ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවට ශ්‍රී ලංකාවට ලබා දී ඇති ද්විපාර්ශ්වික නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සමග පළමු සාකච්ඡා වටය සැප්. 16 වන දා කොළඹදී පවත්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව පැවසීය.

සුහද වාතාවරණයක් තුළ පවත්වන ලද එම සාකච්ඡාවේ අරමුණ ශ්‍රී ලංකාවේ ණය තිරසර කිරීම සඳහා ණය හිමියන්ගේ මූල්‍ය සහතික අවශ්‍ය වන IMF වැඩසටහනක් කල් ඇතිව අවසන් කිරීමට සහ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සහය සහ අනුමැතිය ලබා දීම බව එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පාර්ශ්වකරුවන් සමග ඉන්දියාව අඛණ්ඩව හා සමීපව කටයුතු කරනු ඇතැයි එහි වැඩිදුරට ත් දැක්වේ.