“ආගමික සිද්ධස්ථානවලට මෙතෙක් කල් සහන දුන්නේ ජනතාවගේ විදුලි බිල වැඩි කරලා” – ඇමති කංචන (VIDEO)

0
191

ආගමික සිද්ධස්ථාන සඳහා අඩු මුදලට විදුලිය උත්පාදනය කිරීමට වෙන ම බලාගාර නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (සැප්. 20) පාර්ලිමේන්තුවේදී ආගමික ස්ථානවල විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය කාලයේදී ආගමික ස්ථාන සඳහා විදුලි සහන ලබා දීමට කටයුතු කළේ, එම ස්ථානවලින් අය විය යුතු මුදල වෙනත් විදුලි ඛාණ්ඩවලින් පියවා ගැනීම තුළින් බව ත් මෙවර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එම ක්‍රමවේදයෙන් බැහැර වූ බව ත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

“පහුගිය කාලයේදී සහනාධාර දෙනකොට ආගමික සිද්ධස්ථානවලට ඒ සහනාධාරය දුන්නේ අනික් කාණ්ඩවලට තමයි ඒක අය කර ගැනීම සඳහා යොමු කරලා තිබුණේ. ඒ කියන්නේ ආගමික සිද්ධස්ථානවලට උපරිම මුදල දීල තිබුණේ ඒකක 180ට වැඩිය රු. 9යි සත 40යි. එතකොට ඒකක 30ක් දක්වා දීල තිබුණේ 1යි සත 90යි. 1යි සත 90ක් අය කරන කොට ඒකෙ බර දාලා තිබුණේ එක්කෝ ගෘහස්ථ කාණ්ඩයට, එක්කෝ ව්‍යාපාරික කාණ්ඩයට, එක්කෝ හෝටල් කාණ්ඩයට, එක්කෝ අනෙකුත් රජයේ ගොඩනැගිලිවලට. ඒක අයින් කරලා තමයි ඒ කාණ්ඩය ඇතුළේ සබ්සිඩි එක හදලා තියෙන්නේ.

අපි විදුලි බිල කළමනාකරණය කරගත යුතුයි. උත්පාදනයේදී ආගමික සිද්ධස්ථානවලට කියලා වෙන ත් බලාගාර නෑ අඩුවෙන් උත්පාදනය කරන. අපිට උත්පාදනය කරන්න තියෙන්නේ මේ තියෙන බලාගාර ටික ම තමා. ඒ නිසා යම් සහනාධාරයක් දෙන්න මුදල් අමාත්‍යංශය තීරණය කරනවා නම්, ඒක කිසි ප්‍රශ්නයක් නෑ. විදුලි බල මණ්ඩලයට ඒක දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ලබා දීලා තියෙන නිර්දේශ අනුව, පහුගිය කාලයේ විදුලි බල මණ්ඩලයෙන් ගෙවීම් කරපු ආගමික සිද්ධස්ථාන 148ක් තියෙනවා. විදුලිබල මණ්ඩලයෙන් හැම මාසේ ම විදුලිබිල ගෙවපු. ඒවත් ගෙවන්න එපා කියලා මහජන උපයෝගිතා කොමිසම කියලා තියෙන්නේ.”

අමාත්‍යවරයා සඳහන් කළේ, ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා වෙත භාර දුන් බව ය.

ඒ අනුව, ඉන්දියාව ගෝ චීනය සමග ණය ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබා ගැනීමට සාකච්ඡා කරන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.